විවාහ දිවියට පත් හැම යුවලකගේම ඒකායන අරමුණ වන්නේ දරු සුරතල් බැලීමයි. දරුවන් අහිමි වීම නිසා බොහෝ දෙනෙකු දැඩි කනස්සල්ලෙන් පසුවනු අපට දක්නට ලැබේ. මෙම ලිපිය ලිවීමේ පරමාර්ථය වන්නේ එවැනි තැනැත්තන්ට සහනයක් සැලසීමයි. මිනිසාගේ පැවැත්ම කෙරෙහි සෘජුවම බලපාන තත්ත්වයක් ලෙස දරුඵල අහිමිවීම හෙවත් වන්ධ්‍යාභාවය සඳහන් කල හැක. වර්තමානයේ පමණක් නොව ඈත අතීතයේ පටන්ම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය තුලම වන්ධ්‍යාභාවය විද්‍යමානව පැවති බවට සාධක හමුවේ.
ආයුර්වේදයේ “ ස්ථායති ගර්භෝ යස්‍යාමිති ස්ත්‍රී” ලෙස දක්වා ඇත්තේ ගැබ දරන්නිය ස්ත්‍රිය යන්නයි. එදා පෙරදිග මතය අනූව ‘ස්ත්‍රී’ නාමයට පාත්‍ර වූයේ දරුවකු ප්‍රසූත කල කාන්තාවක පමණි. කෙසේ වෙතත් වන්ධ්‍යාභාවය යනු දරුවකු බිහි කිරිමට නොහැකි වීමයි.
‘ වන්ධ්‍යාභාවය’ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ තරම් තොරතුරු අඩංගු වන වෙනත් ශාස්ත්‍රයක් නොමැති තරම්ය. ආයුර්වේද මූලග්‍රන්ථ වල වන්ධ්‍යාභාවය නොයෙකුත් ආකාරයන්ට අර්ථ දක්වා ඇත.
සුශ්‍රැත සංහිතාවේ දක්වා ඇති අන්දමට ‘වන්ධ්‍යා’ යනු යෝනි ව්‍යාපත් වලින් එකකි. යෝනි යනු ස්ත්‍රී ප්‍රජනේන්ද්‍රීය පද්ධතියයි. ව්‍යාපත් යනු රෝගී තත්ත්වයන් ලෙස සැලකේ. ඒ අනූව ස්ත්‍රී ප්‍රජනේන්ද්‍රීය පද්ධතිය ආශ්‍රිතව අතිවන රෝගී තත්ත්වයන් යෝනි ව්‍යාපත් ලෙස අර්ථ දැක්විය හැක. සුශ්‍රැත සංසහිතාවේ වනුධ්‍යා යන්න විස්තර කර ඇත්තේ “වන්ධ්‍යා නෂ්ඨාර්ථවා වින්ධ්‍යාත්” ලෙසය. එනම් ආර්ථවය නොමැති වීම වන්ධ්‍යාභාවයයි. මෙම අර්ථ දැක්වීම තව දුරටත් විග්‍රහ කිරීමේදී ආර්ථවය(Menstruation) නොමැති වීම පමණක් නොව බීජ(Ovum) නොමැති වීමද වන්ධ්‍යාභාවය යැයි සැලකීම යුක්ති යුක්තය.
ආයුර්වේදයේ දක්වා ඇති අන්දමට ගර්භයක් හටගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන සාධක හතරකි. මේවායින් එකක හෝ සිදුවන යම් විකෘතිතාවයක් වන්ධ්‍යාභාවය සඳහා හේතු වේ. සෘතුව, කෙත, ජලය සහ බීජ යන මේවායේ මනා සම්බන්ධතාවයෙන් සරු ඵලයක් ඇතිවන්නාක් මෙන්ම සාධක හතරක් සංයෝග වීමෙන් ගර්භයක් හටගන්නා බව ආයුර්වේදයේ විස්තර කොට ඇත.
- සෘතු – සරුකාලය හෙවත් ඩිම්බ මොචනය වන කාලය
- ක්ෂේත්‍ර- නිරෝගී ස්ත්‍රී ජනනේන්ද්‍රීය පද්ධතිය
- අම්බු – ශරීරය පෝෂණය කරන ද්‍රව පදාර්ථ හෝ හෝමෝන
- බීජ – නිරෝගී ස්ත්‍රී හා පුරුෂ බීජ
වන්ධ්‍යාභාවය පිළිබඳ නිරවුල්ම අර්ථකථනය දක්වා ඇත්තේ හාරිත සංහිතාවේ ය.දරුවකු ලබා ගැනීමට අපොහොසත් වීම වන්ධ්‍යාභාවය ලෙස විස්තර කර ඇති එම සංහිතාව ප්‍රභේද හයක් යටතේ මේ පිළිබඳව පුළුල් ලෙස විග්‍රහ කරයි.
- ගර්භකෝෂ භංග – ගර්භාෂයට සිදුවන හානි වීම, ගර්භාෂය පහත්වීම ආදීය නිසා ගර්භයක් හට නොගනී.
- කාකවන්ධ්‍යා – එක් දරුවෙක් සිටින නමුත් ඉන්පසු දරුවන් නොමැති
- අනපත්‍යා – දරුවන් නොමැති(Primary infertility)
- ගර්භස්‍රාවී – දිගින් දිගටම ගර්භස්‍රාව සිදුවන
- මෘතවත්ස්‍යා – දිගින් දිගටම මළ දරු උපත් සිදුවන
- බලක්ෂයා – ශාරීරික ශක්තිය ක්ෂය වීම නිසා ඇතිවන වන්ධ්‍යත්වය වේ. රක්තහීනතාවය නිසා ඇතිවන වන්ධ්‍යත්වය මේ යටතට ගත හැක.
වන්ධ්‍යාභාවයට හේතු
ආයුර්වේද මූලග්‍රන්ථයන්හී වන්ධ්‍යාභාවය සඳහා බලපාන විවිධ හේතු විස්තර කර ඇත. මේවා අතුරින් බොහෝමයක් කාන්තාවන්ට බලපාන හේතුන්ය.
- සහජ හේතු
- ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත දෝෂ
- සංතාපය
- ස්ත්‍රී බීජ(ඩිම්බ) වල දෝෂ
- මව විසින් මිත්‍යා ආහාර විහරණ භාවිතය කිරීම
- සරුකාලයේදී සංසර්ගයේ නොයෙදීම
- ශරීරික ශක්තිය පිරිහිම
- සංසර්ගයේ අසාමාන්‍යතා
- යෝනි අර්ශස්
- ආර්තව දෝෂ
- ප්‍රජනේන්ද්‍රීය පද්ධති ආශ්‍රීත රෝග
- කායික විකෘතිතා ධාතු ක්ෂීණතාවය ඇතුළු ශුක්‍රාණු වල දෝෂ තත්ත්වය
- වැඩිවීමට පත්වීමට පෙර (Puberty) සංසර්ගයේ යෙදීම
සහජ හේතු
දෝෂ සහිත ස්ත්‍රී සහ පුරුෂ බීජ නිසා කුපිත වන වාතයේ ක්‍රියාකාරිත්වය හේතු කොටගෙන ගර්භාෂය, ඩිම්බ කෝෂ සහ ඩිම්බ රහිත දරුවෙකු උපදී. එනම් සහජයෙන්ම වන්ධ්‍යාභාවය ඇතිවේ.
ආර්ථව වහ ස්‍රෝතස් වලට හානිවීම
ආර්ථව වහ ස්‍රෝතස් වලට හානිවීම නිසා වන්ධ්‍යාභාවය ඇතිවන බව සුශ්‍රැත සංහිතාවේ දක්වා ඇත.
යෝනියේ හටගත් දෝෂ
ස්ත්‍රී ප්‍රජනේන්ද්‍රීය පද්ධතිය ආශ්‍රිත විකෘතිතාවයන්(යෝනී ව්‍යාපත්) නිසා ද වන්ධ්‍යත්වය හටගනී.
සංසර්ගයේ අසාමාන්‍යතා
විකෘති වූ ඉරියව් වලින් මෛථනයේ යෙදීම වන්ධ්‍යාභාවය සඳහා හේතු වේ. තවද අති මෛථුනය නිසා ඇතිවන වාතකොපය හේතුවෙන් ස්ත්‍රී ප්‍රජනේන්ද්‍රය පද්ධතිය ආශ්‍රිතය වේදනාව, හිරිය හා ඉදිමුම හටගනී.
මානසික විකෘතිතා
මානසික චින්තා, ශෝක, ක්‍රෝධ, ඊර්ෂ්‍යාව ආදිය නිසා ස්ත්‍රි සහ පුරුෂ බීජ වල විකෘතිතා ඇතිවන බව දක්වා ඇත.
යෝනි අර්ශස්
යොනි අර්ශස් හෙවත් ස්ත්‍රී ප්‍රජනේන්දීය පද්ධතිය ආශ්‍රිතව ඇතිවන කීල නිසා ආර්ථවය අවහිර වීම නිසා වන්ධ්‍යාභාවය ඇතිවේ.
ස්ත්‍රී බීජ දෝෂ
වාතාදී දෝෂයන්ගේ විකෘතිතා හේතුවෙන් ස්ත්‍රී සහ පුරුෂ බීජ දෝෂයන් අටක් ඇති වන බවත් ඒවා නිසා ප්‍රජෝත්පාදනයේ අසමර්ථතාව ඇතිවන බවත් චරක සහ සුශ්‍රැත සංහිතාවල දක්වා ඇත.
කායික විකෘතිතා
මධුමේහය, මැලේරියාව, පාන්ඩුව, රාජයක්ෂ්මා, හෘද රෝග වැනි කාලීන රෝග තත්ත්වයන් වන්ධ්‍යාභාවය සඳහා හේතුවන බව දක්වා ඇත.
ආහාර දෝෂ
විශේෂයෙන් මිත්‍යා හෙවත් වැරදි ආහාර පුරුදු (අධික ලෙස ආහාර ගැනීම, අල්ප ලෙස ආහාර ගැනීම, අධ්‍යශන, උපවාස සහ වාතාදී දෝස කොප කරවන ආහාර) නිසා ධාතු ක්ෂිණතාවය ඇතිවේ. එවිට හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇතිවන අතර එම තත්ත්වය වන්ධ්‍යාභාවය සඳහා හේතු වේ.
ශාරීරික ශක්තිය පිරිහීම
පෝෂ්‍යදායි ආහාර ලබා නොගැනීම, රෝගී තත්ත්වය සහ ඇති ව්‍යායාම ආදිය නිසා ශාරීරික බලය හීන වේ.
නව්‍ය මතානුකූලව විවාහ වී වසරක කාලයක් තුල කිසිදු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා නොකරමින් දරුවෙකු බලාපොරොත්තුවෙන් ක්‍රමවත් අයුරින් ලිංගික සංසර්ගයේ යෙදෙමින් අනතුරුවත් දරුවෙකු නොලැබීම වන්ධ්‍යාභාවයයි.
නව්‍ය විද්‍යාත්මකව ගර්භයක් පිහිටිමට අවශ්‍ය කරුණු මෙසේය.
- ගර්භාෂ කුහරයේ සිට පැලෝපීය නාලවල අන්තය දක්වා වූ කිසියම් ස්ථානයක සංසේචනයක් සිදුවිය යුතුය.
- ස්ත්‍රී හා පුරුෂ බීජ නිරෝගි විය යුතුය.
- කළලය වැඩීම සඳහා ගර්භාෂ ක්ෂේත්‍රය නිරෝගී විය යුතුය.
වන්ධ්‍යාභාවය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි.
- ස්ත්‍රී වන්ධ්‍යත්වය
- පුරුෂ වන්ධ්‍යත්වය
වන්ධ්‍යත්වයේ ප්‍රභේද
- ප්‍රාථමික වන්ධ්‍යත්වය(Primary Infertility) කිසිසේත්ම දරුවෙකු බිහිකිරීමට හැකියාවක් නොමැති වීමයි.
- ද්වීතීයික වනධ්‍යත්වය(Secondary infertility) එක් දරුවෙකු ලැබීමෙන් අනතුරුව නැවත දරුවෙකු ලබාගැනීමට අපොහොසත් වීම
වන්ධ්‍යාභාවයට බලපාන හේතු
වන්ධ්‍යාභාවයට බලපාන හේතු අතරින් සමහර හේතු හඳුනාගෙන ඇති අතර තවත් සමහරක් හඳුනාගෙන නොමැත. ඒවා අඥාත හේතු නමි(idiopathic reason). වන්ධ්‍යාභාවයට බලපාන හේතුන්ගෙන් 40% ක් පමණ ස්ත්‍රීන්ට සම්බන්ධ හේතු වන අතර 40%ක් පුරුෂයන් සම්බන්ධ හේතූන් වේ. දෙපාර්ශ්වයටම බලපවත්වන හේතුන් සහ අඥාත හේතුන් ඇත්තේ 20%කි.
ස්ත්‍රී වන්ධ්‍යත්වයට හේතු
- ස්ත්‍රී ප්‍රජනේන්ද්‍රිය පද්ධතිය ආශ්‍රිත විකෘතිතා
- හොමොන අසමතුලිතතා
- ආර්ථව දෝෂ
- සංසර්ගයේ විකෘතිතා
- පාරම්පරික හේතු
- උපත් පාළන ඖෂධ භාවිතය
- ආහාර හේතු
- මානසික විකෘතිතා
- වයස
- ලිංගාශ්‍රිතව බොවෙන රෝග
- රැකියාව සහ පාරාසරික සාධක
වන්ධ්‍යාභාවය සඳහා සිදුකරන ප්‍රතිකාර සැලකූ කල්හී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ සඳහා සාර්ථක ප්‍රතිකාර පවතින බව කිව යුතුය. වසර ගණනාවක් දරුඵල අහිමිව කනස්සල්ලෙන් පසුවන සැමට මෙය සහනදායි පිළිතුරක් වනු ඇත. වන්ධ්‍යාභාවයෙන් පෙළෙන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ප්‍රතිකාර පැබීම සුදුසුය. වන්ධ්‍යාභාවය ඇතිවීමට බලපෑ හේතුව සොයා බලා අදාල හේතුවට ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය වේ. ගර්භාෂ ගත අර්බුධ, ග්‍රන්ථි, අධික තරබාරුව, අක්‍රමවත් ආර්ථවය, ආර්ථවාභාවය ආදී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ආබාධ මෙන්ම රක්තහීනතාවය, ගර්භශ්‍රාව(Abortion) ආදියට අදාල ප්‍රතිකාර කරනු ලැබේ. එසේම ක්ෂින ශුක්‍ර හෙවත් ශුක්‍රණු ප්‍රමාණය අඩුවීම, පූය ශුක්‍ර, ශුක්‍රාණු වල චලන හැකියාව අඩුවීම, ද්වජ භංගය(Impotency) වැනි පුරුෂයන් සම්බන්ධ හේතූන් රාශියකට ප්‍රතිකාර පවති.ඖෂධීය ප්‍රතිකාර මෙන්ම පංචකර්‍ම ප්‍රතිකාරද මෙහිදී සිදුකිරීම අත්‍යාවශ්‍ය අතර මේ සෑම ප්‍රතිකාරයක්ම පුද්ගල ප්‍රකෘතීන් අනූව වෙනස් වේ. පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම, උෂ්ණාධික ආහාරපාන වලින් හැකිතාක් වැලකී සිටිම, ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පෙනෙළ, කිරිබදු අල, හාතාවාරිය ආදිය පතා සුදුසු අතර ඒවායින් පිළියෙල කල කැඳ සුප් ආදිය පානය කිරීම ඉතා සුදුසුය. තවද මානසික සුවයෙන් සිටීම, සෘතු කාලය හෙවත් සරු කාලයේදී සංසර්ගයේ යෙදීම අත්‍යාවශ්‍ය වේ.දින 28ක ඔසප් චක්‍රයක් පවතින කාන්තාවනගේ ඔසප් වීම ආරම්භ වු දිනයේ සිට 14 වන දිනයේදී ස්ත්‍රී බීජාණුවක් පිටවන අතර සුළු වෙනස් වීමක් විය හැකි බැවින් දහවන දිනයේ සිට දහඅට වන දිනය දක්වාම සරු කාලය ලෙස සලකා මෛථුනයේ යෙදීම වඩා සුදුසුය.
දිගු කාලිනව උපත් පාළන ක්‍රම භාවිතා නොකිරීම, ආර්ථවය අක්‍රමවත් වීම, අනාර්ථවය වැනි තත්ත්ව පවතින විට නොසලකා නොහැර ප්‍රතිකාර කෙරෙහි යෙුාමුවීම දරුවෙකු බලාපොරොත්තුව හිඳ වසරක් ගතවූ පසුත් දරුඵල නොමැති නම් වහාම පළපුරුදු වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලැබීම සුදුසුය. මන්ද වයස ගතවීමද වන්ධ්‍යාභාවය සඳහා හේතුවක් වන බැවිනි.
මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට කැමති ඕනෑම රෝගියෙකුට ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද(ශික්ෂණ) රෝහලේදී සෑම බදාදා දිනයන්හී පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා බාහිර ප්‍රතිකාර අංශයේ කාමර අංක 06 පවත්වා ගෙන යනු ලබන කාන්තා රෝග සායනයෙන් නොමිලේම ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබාගත හැකි අතර දරුවෙකු පිළිබද සිහිනයද සැබෑවක් බවට පත්කර ගත හැක.