ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
බිළිඳා සහ රත කල්කය

දේශීය සංස්කෘතිය තුල ශ්‍රී ලාංකිකයන් උරුම කර ගත් තවත් එක් සුවිශේෂී දේශීය ඖෂධ යෝගයක් ලෙස රත කල්කය හදුන්වා දිය හැක. දේශීය චිකිත්සාව තුළ පමණක් හමුවන මෙම මහානර්ඝ ඖෂධය විශේෂයෙන්ම බිළිඳුන් සහ කුඩා දරුවන්ට වැළදෙන රතගාය ලෙස හැදින්වෙන රුධිරගත රෝගාවස්ථාව සදහා ලබාදෙන ඔසුවක් වේ. මව්කිරි, රන්කිරි, මෙන්ම රතකල්කයද අතීතයේ සිටි මව්වරුන් තම දරුවන්ගේ මුව තුල තැබුවේ මහත් සොම්නසකිනි.මව්වරුන් විශ්වාස කලේ දරුවාට වැළදිය හැකි රතගාය නම්වු රෝගාවස්ථාවට අමතරව රුධිරය දූෂණය වීමෙන් හට ගන්නා විවිධ උෂ්ණ රෝග වලින් බේරෙන්නටද හොදින් ආහාර දිරවිමටද මලබද්ධයක් හට නොගන්නටද පැහැපත් සමකින් යුතුවු දරුවෙකුගේ වර්ධනයටද දරුවා නිරෝගිමත් වීමටත් රත කල්කය දිය යුතුම බවයි.

එහෙත් විසිවන සියවසේ මැදභාගයේ සිට ක්‍රමඃ ක්‍රමයෙන් සමාජයෙන් රත කල්කය පිළිබදව තිබූ විශ්වාසය පළුදුවීමක් වර්ධනය වන අයුරු දැක ගත හැකිවුනි. අතදරුවාට මව්කිරි හැර අන් කිසිවක් නොදිය යුතුය යන බටහිර වෛද්‍යය මතයත්, විශේෂයෙන් රත කල්කය ළදරුවන්ට පහසුවෙන් ජීර්ණය කර ගත නොහැකි සංඝටකයක් වන බවත්, එනිසා එය දරුවන්ට දීම නොකල යුතුය යන මතයත්, රත කල්කයේ ප්‍රමිතිය පිළිබදව සමහරක් බටහිර වෛද්‍යවරු ගොඩනැගු  වැරදි චිත්‍රයත් නිසා රතකල්කය ප්‍රශ්න කිරීමකට ලක්වුහ. මේ සදහා සමාජයේන් යම් සැළකිය යුතු පිළිගැනිමක්ද ලැබුන අතර එය හේතුවෙන් තම දරුවන්ට රත කල්කය ලබා දීමට සිටි බොහෝ දෙමාපියන් එය තම දරුවන්ට දීමට පෙර දෙවරක් සිතිමට තීරණය කලහ. එවන් පසුබිමක් තුල පරම්පරා දෙක තුනක් ගත‍වී ගොස් ඇති  වර්තමානය වන විට තම දරුවන්ට රත කල්කය දෙන දෙමාපියන් සොයා ගැනිම ඉතා අසීරු දෙයක් බවට පත්වී ඇත. සත්‍යය ලෙසම රත කල්කය ළදරුවන්වට දීම අනතුරුදායකද? එහි සත්‍යයතාවයක් නැතිද? සොයා බලමු බිළිඳා සහ රත කල්කය ගැන.සොයා යමු සත්‍යය.

රතගාය යනු කුමක්ද?

අලුත උපන් බිළිදුන්ට සහ වැඩුණු දරුවන් කෙරෙහිද ඇතිවිය හැකි සමේ රෝග අ‍වස්ථාවක් ලෙස මෙම තත්වය විස්තර කල හැක. රුධිරය හා සම්බන්ධතාවයක් ඇති රෝග අවස්ථාවකි.

රතගායේ පොදු ලක්ෂණ

  • සම රතුවන් වීම
  • කුඩා බිබිලි ඇතිවි පුපුරා නැවත ඇතිවීම
  • රතගෙඩි ඇතිවීම
  • මතුපිට කබොළ සහිත තුවාල ඇතිවීම
  • මලබද්ධය හටගැනීම
  • උණ
  • ආහාර අරුචිය(මෙනිසා දරුවා ආහාර ප්‍රතික්ෂේප කරයි)
  • ඉකිලි සහ කිහිලි වල ශෝථය

රතගායේ ප්‍රභේද

  • අභිපූතන(Infantile Erythema)

ළදරුවා මලමුත්‍ර පහ කිරිමෙන් පසු නිසි පරිදි සෝදා පවිත්‍ර නොකීරීම නිසාද, දූෂිත කිරි පානය සහ ජලස්නානය නොකරවීමෙන්ද, ඩහදියෙන් සම තෙත්ව තිබීම නිසාද, ගුද මාර්ගය අවට සම කැසීම, රතු පාට බිබිලි ඇතිවිම නිසා ඇතිවන තත්වයකි.

  • බාල විචර්විකා(Infantile Eczema)

අත්පාවල තද වේදනා සහිතව සම පිපිරි, දියර ගැලීම, බිබිලි ඇතිවන රෝග අවස්ථා මෙම නමින් හැදින්වේ.

  • බාලක පාමා

ළදරුවන්ගේ නළලේ කම්මුල් වල කසන බිබිලි ඇතිවි ස්‍රාව ගලා කහ පාට කබොලු  ඇතිවේ. හිස සහ මුහුනේ ඉක්මනින් පැතිරේ. කල්ගතවන විට ඇදුම වැනි තත්ව ඇතිවේ. සමහර විට අවුරුදු 9-10 පමණ වනතෙක් නිතම්බ ආදියේ කන් පිටුපස ඇතිවේ.

මීට අමතරව දේශීය වෙදකමේ රෝග ලක්ෂණ අනුසාරයෙන් රතගායේ ප්‍රභේද දක්වා ඇත.ගල්රත, ලේරත, නාරත, දුවන රත, දුවනපනින රත, කසන රත, පණුරත, මාන්දම් රත

ආයුර්වේද මත අනුකූලව රතගාය රෝග තත්වය ළදරුවන් කෙරෙහි ඇතිවිමට බලපාන හේතු

1.     මවගේ හේතු

ගර්භණී සමය තුළ ගර්භෝපචාර විධි නිසි ලෙස නොපිළිපැදීම නිසා ඇතිවේ.

  • මව විසින් අම්ල කටුක ආහාර එනම් ඇඹුල් සහ තුනපහ අධික ආහාර ගැනීම.
  • මානසික අසහනය.
  • නොදැරිය යුතු ආවේග දැරීම සහ දැරිය යුතු ආවේග නොදැරීම.
  • ගර්භණී අවධියේ ඇතිවු ජ්වරය වැනි රෝග අවස්ථා.
  • මවට හටගන්නා තදබල චර්මාබාධ නිසා.
  • ගර්භණී සමයේ නිසි ලෙස මල අනුලෝමනය නොවීම.
  • කිරි දෙන මව්වරුන්ගේ හේතු ලෙස දූෂිත කිරි පානය.

2.     දරුවාගේ හේතු

  • බිහිවු දරුවන්ගේ අපවිත්‍රභාවය.
  • අජීර්ණ රෝග අවස්ථා.

රතගාය සදහා ප්‍රතිකාර කිරිමේදි වැදගත්ම කරුණ වනුයේ රෝගයට හේතු වු විවිධ හේතු කාරක වලින් ඈත්වීම සහ වැලැක්වීමයි.රතගායට නසි ප්‍රතිකාර නොකළ විට පසු කාළීනව රෝගයේ උපද්‍රව ඇතිවේ.

  1. වකුගඩු ආබාධ
  2. නොබසිනා උණ
  3. ඇදුම
  4. රත කුෂ්ඨ

 රත කල්කය

මෙම  කල්කය දෙසදුන් කල්කය, කොත්තමල්ලි කල්කය, රත්හදුන් කල්කය යන පර්යාය නාම වලින් විවිධ වෛද්‍යවරු  විවිධ ප්‍රදේශ වල විවිධ යුග වලදි හදුන්වා ඇත.

රත කල්කය යනු කුමක්ද?

රත යන වදන සදහා විවිධ අර්ථ තිබේ.

  • රතු වර්ණයට නමකි.
  • රක්තයට තවත් අරුතකි.
  • රෝගයකි.

කල්කය යනු දේශිය ඖෂධ සංස්කරණ විධියකි.

“ බෙහෙත් වර්ග සුණුකර දිය……..ආදි යමකින් අනා හෝ අඹරා ගන්නේද ඒ කල්කයයි” ශ්‍රී සුමංගල ශබ්දකෝෂය

රත කල්කය ප්‍රධාන ලෙස අන්තඃපරිමාර්ජන(බොන බෙහෙතකි) ඖෂධයකි.රත කල්ක වට්ටෝරුව පහත දැක්වේ.දේශීය වෙදකමේ වටිනා ඔසු රැගත් “ වටිකා ප්‍රකරණය”යන ග්‍රන්ථයේ රත කල්කය පිළිබදව දැක්වෙන කවිය උපයෝගයෙන් එය මෙසේ විසිතර කල හැක.

බිළිඳුන් වදකර පැණිරස ඇති ලිය ලේ වන් හිමේක බර                   වන්නේ
සිඳුහට නඟමින් හරිබර වු තැන ලිකුච යුෂින් අඹරා                         ගන්නේ
ළපටින් ළදරුම වලිප්පු උණ දුට කොත්තමල්ලි තම්බා                   දෙන්නේ
නියතින් ගුණ දෙන රහසකි ඇදුරනි පෙර වෙද දත් පඬි               උතුමන්නේ

මෙහි ව්‍යංගාර්ථයෙන් ඖෂධ නාම දක්වා ඇත.

  • බිළිඳුන්         – කොල්ලු(කොල්ලෝ යන අදහසින් බිළිඳුන් දක්වා ඇත)
  • වදකර          – වදකහ
  • පැණිරස ඇති ලිය    – වැල්මී
  • ලේවන්        – රත්හදුන්
  • හිම              – සුදුහදුන්
  • සිදු               – සවිඳ ලුණු
  • ලිකුච යුෂ     – දෙහි යුෂ

රත කල්කයේ අඩංගු ඖෂධ ද්‍රව්‍යයන්ය.

 රත කල්කයේ අඩංගු ඖෂධ ද්‍රව්‍යයන්ගේ ගුණ විශ්ලේෂණය

කොල්ලු Dolichos biflorus L.
  • රනිල(ලෙගියුමිනේසි) කුලයේ ශාකයකි.
  • රස     :කෂාය
  • ගුණ   :ලඝු, රූක්ෂ, තික්ෂ්ණ
  • වීර්ය  :උෂ්ණ
  • විපාක:කටු
  • මුත්‍රාශ්මරී දිය කිරිම, සන්නිපාත ජ්වරයේ අතිස්වේද මර්ධනය
වදකහ Acorus calamus L.
  • සූරණ (ඇරේසියේ) කුලයේ ශාකයකි.
  • රස     :කටු, තික්ත
  • ගුණ   :තික්ෂ්ණ
  • වීර්ය  :උෂ්ණ
  • විපාක:
  • අග්නි දීප්තිය ඇතිකරයි.විෂ බීජ නාශකයි. උදරාද්මානයට ගුණදායකයි.
වැල්මී Glycyribiza glabra L
  • රනිල(ලෙගියුමිනේසි) කුලයේ ශාකයකි.
  • රස     :මධුර
  • ගුණ   :ගුරු, ස්නිග්ධ
  • වීර්ය  :ශීත
  • විපාක:මධුර
  • රක්ත ශෝධකයි, මෘදු විරේක, මුත්‍ර විරංජනීය, චර්ම රෝග හර, විෂ නාශක.
රත් හදුන් Pterocarpus santalinus L
  • රනිල(ලෙගියුමිනේසි) කුලයේ ශාකයකි.
  • රස     :තික්ත,මධුර
  • ගුණ   :රූක්ෂ, ගුරු
  • වීර්ය  :ශීත
  • විපාක:කටු
  • රක්ත ශෝධකයි, රක්තජ පිත්තජ හෝ ආඝාතජ නේත්‍රරෝග නසයි, විෂබීජ නාශක.
 සුදු හදුන්  Santalum album L
  • සැන්ටලාසියේ කුලයේ ශාකයකි.
  • රස     :මධුර, තික්ත
  • ගුණ   :ගුරු, රූක්ෂ
  • වීර්ය  :ශීත
  • විපාක:කටු
  • මුත්‍රාල ඖෂධයකි. මුත්‍රාශ ප්‍රදාහ නාශකයි. චර්ම රෝග සදහා ගුණදායකයි. ජ්වරහරයි.
සවිඳ ලුණු Sodium chloride impure
  • රස     : මධුර
  • ගුණ   :ලඝු, සුක්ෂම, ස්නිග්ධ
  • වීර්ය  :ශීත
  • විපාක:
  • ත්‍රිදෝෂ ශාමකයි.
දෙහි යුෂ  Citrusaur aurantifolia
  • රුටේසියේ කුලයේ ශාකයකි.
  • රස     :අම්ල
  • ගුණ   :ලඝු
  • වීර්ය  :අනුෂ්ණ
  • විපාක:මධුර
  • අජීර්ණ නසයි.

ඉහත සදහන් ද්‍රව්‍ය වල රස ගුණ වීර්ය සහ විපාකය විශ්ලේෂණයේදි පැහැදිලි ‍වන්නේ ඒවා ශරීරයේ බොහෝ ව්‍යුහ වල ක්‍රියාකාරි වන ඖෂධයක් වන බවයි.

ඖෂධ සංස්කරණය

  • කොල්ලු, වැල්මී, රත්හදුන්, සුදුහදුන්, වදකහ යන වර්ග සමාන බරකින් යුක්තවද සහිඳ ලුණු ඉහත ඔසු සියල්ලේම බරට සමානවද ගත යුතුය.
  • හොදින් සොදා ගරා පිරිසිදු කර ගත් කොල්ලුද සෝදා වේලා පිරිසිදු කර ගත් වැල්මී, රත්හදුන්, සුදුහදුන්, වදකහ යන වර්ගද සියුම් අන්දමට කැබලි කර ගත යුතුය.

මෙම පියවරේදි සමහර වෛද්‍ය වරුන් මෙම ද්‍රව්‍ය කර නොවන පරිදි කබලේ රත්කර සියුම්ව කුඩුකර ගනියි.පසුව සියුම් රෙදි කඩකින් හළාගනු ලැබේ.

  • මෙම ද්‍රව්‍ය පිරිසිදු සවිඳලුණු, පෙරාගත් දෙහි ඇඹුලින් දියකර ද්‍රව්‍ය චූර්ණයට මිශ්‍රකර කල්ක පදම එනතුරු දෙහි යුෂින් අඹරා ගනියි.

දෙහි ඇඹුල් වෙනුවට ඇඹුල් දොඩම් යුෂද ගත හැක.

මීට අමතරව තව ක්‍රමයක් ලෙස පිරිසිදු කර කිරා ගත් ඖෂධ සියුම් චූර්ණය දෙහි යුෂයෙන් තම්බා දෙහි යුෂයෙන් කල්ක පදම එනතුරු අඹරා ගනී.

බාහිර ලෙස ඖෂධය පාකයට ලක්කර ගැනීමෙන් අත්වන වාසි

  1. Ø ආහාර ජීර්ණ පද්ධතියේදි ජීර්ණය පහසු වීම.
  2. Ø විෂබීජ විනාශ වීම.
  3. Ø පශ්චාත් උපද්‍රව අවම වීම.
  4. Ø කල්තබා ගත හැකි කාලය වැඩිවිම.

මෙහිදී ජීර්ණය පහසු වීම යන කාරණය ඉතා වැදගත් වේ. දින  හතක පමණ ළදරුවන්ට පවා මෙම ඔසුව දෙනු ලබන හෙයින් ඔවුන්ගේ අන්න පාචන ව්‍යුහාවේදී මෙය ජීර්ණයට පහසු විය යුතුය.

මුළු සංස්කරණ ක්‍රියාවලිය පුරාම පිරිසිදු භාවය උපරිම අයුරින් තබා ගැනීමට කටයුතු කල යුතුය. එසේම නිශ්පාදිත කල්කය ගබඩා කර තබා ගැනීමේදි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

  • වායු නිරෝධක වීදුරු බදුනක් තුල තැන්පත් කිරිම.
  • සවිඳ ලුණු අඩංගු වන නිසා ලෝහ බදුන් වල හෝ විදුරු බදුන් වල පියන ලෝහ  නොවිය  යුකුය.
  • ළදරුවා වෙනුවෙන් නිකුත් කිරිමේදී ‍වන දෝෂ අවම කිරීම සදහා වෙන් වෙන් කුඩා ඇසුරුම් වල ඇසිරිම ඉතා කාලෝචිතය.

ඖෂධ මාත්‍රාව සහ දෙන පිළිවෙල

  • දරුවා ඉපදී සති 2 කට පසු එක දිගටම සතියක් දීම.
  • ඊලග සතිය තුළ රත කල්කය නොදී නතර කරයි.
  • නැවතත් ඉන්පසු එන සතිය තුල දිගටම රත කල්කය දෙයි.
  • ඉන් මාස දෙකකට පසු නැවතත් සතියක් රතකල්කය දෙයි.

ස්වභාවයෙන් මලබද්ධය තිබෙනා දරුවන්ට දිනපතා දීම සුදුසුය. ඉපදී දින හතක් ගතවු දරුවාටත් රත කල්කය දිය හැක.තවද දරුවාට වසර දෙක පිරෙන තෙක් රත කල්කය දීම කල හැකිය.

මාත්‍රාව

රක්තිකා 1-2 (රක්තිකා 1= කොත්තමල්ලි ඇට 1) දිනකට එක් වරකි,කුඩාම වයසේ දරුවන්ට රක්තිකා 1,වයස මාස 1 න් පසු රක්තිකා 2.

අනුපාන

  • තනකිරි
  • කොත්තමල්ලි තැම්බූ වතුර
  • පත්පාඩගම් තැම්බූ වතුර

රතකල්කය නොදිය යුතු අවස්ථා

  • උපන් බර අඩු දරුවන්ට ව‍යසට නියමිත බර ඇතිවන තෙක් නොදිය යුතුය.
  • අතීසාරයෙන් හෝ වමනයෙන් පෙළෙන අවස්ථා වලදී.
  • තදබල ලෙස මලබද්ධයෙන් ‍පෙළෙන අවස්ථා වලදී.

රත කල්කය සහ රතගාය අතර අවිනියෝජන බැදීමක් ඇතිමුත් එයට අමතරව කුඩා දරුවන්ට වැළදෙන උණ, වලිප්පුව, හතිය, මලබද්ධය, උල්ලෝගම් යන රෝග වලටත් දෙන්න පුලුවනි. ඒ වාගේම බඩ පිපුම, පණු වමනය, ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල ආදී රෝගාවස්ථාවන් සදහාද දෙන්න පුලුවනි.කුඩා දරැවන්ට පමණක් නොවෙයි වැඩිහිටියන්ටද දිය හැකිය. වාත රක්ත, රක්ත පිත්ත, උෂ්ණාධික රෝගවලදී, ලේ දූෂණය වීමෙන් හට ගන්නා රෝග වලදී, අම්ල පිත්ත රෝගයේදි, චර්මදල, විසර්ප, විද්‍රධි, කුෂ්ඨ වැනි සමේ රෝග වලදී රත කල්කය ඖෂධීය වශයෙන් ඉතා ගුණදායකයි. රත කල්කය බාහිරයෙන්ද ආලේප කල හැකිය. ඖෂධීය ගුණයට අමතරව පෝෂණීය ගුණයක්ද මෙහි අඩංගුය.පැහැපත් සමක් ලබා ගැනීම සදහා රත කල්කය පානය කල හැකිය.එහෙත් මෙම රත කල්කය භාවිතයේදී ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය උපදෙස් මත පමණක් එය ගැනීමට සැලකිලිමත් විය යුතුය.

 රත කල්කය පිළිබදව නවීන තාක්ෂණික ක්‍රම උපයෝගි කරගෙන කරඇති පරික්ෂණයන් සම්බන්ධ තොරතුරු

  • ශරීර ගත වීමෙන් විෂ විමක් ඇති නොවේ.

145 පිට, ආයුර්වේද සමීක්ෂාව, පළමු වෙළුම – එකොළොස්වන කලඹ

  • උණ අඩු කරයි.

ආයුර්වේද සමීක්ෂාව, දෙවන වෙළුම – පළමුවන කලඹ

  • බැක්ටීරියා නාශක ගුණ සහිතයි.

2000 – මහාචාර්ය එස්. ජී. විදානපතිරණ 56 වන විද්‍යාභිවර්ධන සමුළුව

  • ළදරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

1999 මහාචාර්ය ගුනපාල අමරසිංහ මහාචාර්ය ආර්. ඩි. ෂර්මා 55 වන විද්‍යාභිවර්ධන සමුළුව

  • ප්‍රදාහයන් නැති කරයි.

2000මහාචාර්ය ගුනපාල අමරසිංහ 56 වන විද්‍යාභිවර්ධන සමුළුව

 


  • Janaka Priyadarshana

    මෙය ලබා දිය යුත්තේ කිනම් වයසකදීද සහ කිනම් මාත්රවකින්ද යන්නද සදහන් කිරීම වඩාත් යෝග්‍ය වේ..