වර්තමාන ලොකයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටළු බවට හඳුනාගෙන ඇති රෝගාවස්ථා කිහිපයක් අතුරෙන් දියවැඩියා රෝගයට(Diabetes) හිමිව ඇත්තේ ප්‍රධාන ස්ථානයකි. රෝගය සම්පූර්ණයෙන්ම සුවකිරීමට සමත් නිශ්චිත ප්‍රතිකාර සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් දිනපතා ලොවපුරා මිය යන නැතිනම් වෙනත් සංකුලතා ඇතිවන දියවැඩියා රෝගීන් ප්‍රමාණය අතිමහත්ය. බෝ නොවෙනා බොහෝ රොගාවස්ථා වලට සාර්ථක නිශ්චිත ප්‍රතිකාර ඇති දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල මධූමේහ රෝග අවස්ථාව සඳහාද ප්‍රතිකාර කිරිමට භාවිතා කරනා අත්දුටු ඖෂධයක් වශයෙන් කොතලහිඹුටු ඖෂධය හඳුන්වා දිය හැක. කිංජල, කොතලකෙමිය, වෛරී, පීතිකා, කුණ්ඩිකා කර්ණිකාවල්ලි යන පර්යාය නාමයන් රාශියක් කොතලහිඹුටු වලට ඇත. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේද ඊට අමතරව ඉන්දියාව සහ අග්නිදිග ආසියාතික රටවලද මෙම ශාක කුලයේ විවිධ විශේෂ හමුවේ. නමුත් ශ්‍රී ලංකාවේ දක්නට ඇති කොතලහිඹුටු විශේෂය (Salacia reticulata wight) සතු ඖෂධීය ගුණ(Medicinal characteristics) මෙරටදී සහ විදේශ රටවලදි හමුවන අනෙකුත් Salacia විශේෂ වලින් (Salacia oblonga, Salacia prinoides) හමුවන්නේ නැත. මෙරට කොතලහිඹුටු ශාකයේ විශේෂ ආකාර තුනක සල්ෆේට් සංයොග ඇති බව කොතලහිඹුටු ශාක කොටස් විද්‍යාත්මක විශ්ලේෂණයන්ගෙන් පසුව සොයා ගෙන ඇත. ඒවා සැලසිනොල්, කොටැලනොල් සහ පොන්කරනොල් යනුවෙනි. (Salacinol, Kotalanol, Ponkoranol). ඒවා දියවැඩියාව රෝගයට එරෙහිව කටයුතු කිරීමට අත්‍යාවශ්‍ය සංයොග බව දියවැඩියාව සඳහා ප්‍රතිකාර සොයනා විද්‍යාඥයින් පෙන්වා දී ඇත. එපමණක් නොව තවත් සුවිශේෂ සංයොග රාශියක්ද ඇති බව සොයා ගෙන ඇත. මෙවැනි පර්යේෂණ සිදුකර නොතිබුනත් පොදුවේ දේශිය ආයුර්වේදය තුල ප්‍රධානව මදුමේහ රෝග අවස්ථාවටත් ඊට අමතරව ආමවාත, චර්මරෝග සඳහාද කොතලහිඹුටු ඖෂධ යොග සඳහා භාවිතා කර ඇත්තේ ඈත අතීතයේ සිටමය. එම දැනුම සහ විශ්මිතය. ශ්‍රී ලංකාවේ ඇති කොතලහිඹුටු විශේෂයට ඇති ඖෂධීය සහ වාණිජ වටිනාකම ඉතාම ඉහල වී ඇත්තේද ඒනිසාවෙනි.
Celastraceae(ජ්‍යොතිෂ්මතී කුලය) උද්භිද කුලයට අයත් වන මෙම ශාකය කාෂ්ඨිය කඳක් සහිත අවරෝහක හෝ අභිරෝහක පඳුරු සහිත වැලකි. ව්‍යාප්තිය සිදුවන්නේ බීජ මගිනි. පහසුවෙන් පැලවේ. වසර 40-50 ක් අතර ආයු කාලයක් කොතලහිඹුටු ශාකයට හිමි අතර උපරිම පරිනතිය ඒ සමයේදි සිදුවේ. නමුත් ඊට පෙරද ශාකයේ කොටස් ඖෂධ සඳහා ලබා ගැනීමට හැකිය. අතීතයේ දේශිය ඖෂධ සඳහා කොතලහිඹූටු එක්රැස් කරන්නන් තම අවශ්‍යතා සඳහා හිඹුටු ශාක කොටස් ලබා ගැනීමේදි පොලවට ආසන්නයේ ඇති වැල් කොටස් වල සුළු සුළු පලුදු ඇතිකර යෑමට පුරුදුව සිට ඇත. එමගින් එම ස්ථාන වලින් නැවත අතු ලියලා ශාක කොටස් වර්ධනය වන බව ඔවුන් අත්දැකීමෙන් දැන සිට ඇති අතර තමන් විසින් ශාකයෙන් ලබා ගත් කොටස නිසා ශාකයට අහිමිව යන කොටසට නැවත අළුත් කොටසක් එකතු වීමට උපකාර කීමට තරම් අපගේ පැරන්නන් කෘතඥපූර්වක වී ඇත. එහෙත් අද වන විට එම පුරුදු ඖෂධ රැස්කරන්නන් තුල නොමැතිවීම නිසා සහ ආර්ථික වාසි අපේක්ෂාවෙන් අධිකව මෙම ශාක කොටස් එකතු කිරීමට යාම නිසා කොතලහිඹුටු වඳවෙමින් පවතින ශාකයක් බවට පත්වෙමින් තිබේ. උද්භිද විද්‍යාඥයින් පවසන්නේ කොතලහිඹුටු ශාකයේ වර්ධනය සඳහා හොඳම පරිසරය ඇත්තේ මෙරට තෙත් වනාන්තර තුල බවයි. නමුත් ශ්‍රී ලංකාවේ තෙත් වනාන්තර තුල පමණක් නොව වියලි වනාන්තර ප්‍රදේශ බොහොමයකදි අතරින් පතර ඉතාම සුළු වශයෙන් හෝ කොතලහිඹුටු ශාක දැක ගත හැකිවීම සතුටට කරුණකි. මෙම ශාකය, පරිසරයෙන් තුරන්ව යෑමේ අවධානම් තත්ත්වයට පත්ව ඇති සත්ත්ව සහ ශාක විශේෂ පිළිබඳ තොරතුරු ඇතුලත් රතු දත්ත පොතට පවා ඇතුලත් කිරීමටත් බලධාරින් විසින් කටයුතු කර ඇත්තේ එසේ ස්වාභාවික වනාන්තර වලින් හමුවන ප්‍රමාණය ප්‍රමාණවත් නොවනා බැවිනි. තවද වන සත්ත්ව සහ තුරුලතා ආරක්ෂණ අඥාපනතට 2009 වසරේ සිදුකර ඇති සංශෝධනයකට අනූව කොතලහිඹුටු ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස නිතීයෙන්ම දක්වා ඇත්තේ ඒවායේ ආරක්ෂාව උදෙසාය. (Act No 22 of 2009 – FFPO section 42 schedule 08 amendment “Kothala himbutu plant is protected.) ඒඅනූව මෙම ශාකය ගැලවීම, විනාශකිරීම හෝ විකිණිම සහ විකිණීම සඳහා ලඟ තබා ගැනීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි අපරාධ වරදක් ලෙස දක්වා ඇත. එසේ දැඩි නීති පැනවීමට සිදුව ඇත්තේ 1990 දශකයේ මුල පටන් විදේශිය ජාන සොරුන් මෙරටට පැමිණ අපගේ වනාන්තර වල තිබු කොතලහිඹුටු ශාක වල කොටස් තම රටවලට රැගෙන ගොස් ශාකයේ අන්තර්ගත ඖෂධීය සංඝටක වෙන්කොට ගෙන ඒවායෙන් විවිධ ඖෂධ වර්ග නිශ්පාදනය කර ඒවා සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේ සුක්ෂ්ම ව්‍යාපාරයක් සිදුකර ගෙන ආ නිසාවෙනි. මෙරටේ මිලකල නොහැකි ස්වාභාවික සම්පත් රටවැසියාටත් හොරෙන් රැගෙන ගොස් ඒවායේ අයිතිය පිටරැටියන් තහවුරු කර ගන්නා තුරු මේ සම්බන්ධයෙන්
වගකිව යුතු රජයේ ආයතන සහ නිලධාරින් නොදැන සිටීම කෙතරම් නම් අභාග්‍යයක්ද? අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා පලක් නැතිවා වුවත් දැන් හෝ එවැනි ආරක්ෂිත පියවරක් ගැනීම හරහා සමාජය දැනුවත් වෙනවාට අමතරව අනෙකුත් සම්පත් ආරක්ෂා කර ගැනීමට ආධාරකයක් වේ. කොතලහිඹූටු ශාකයේ කොටස් ප්‍රධාන වශයෙන් ගෙන ගොස් ඇත්තේ ජපානයට වන අතර වර්තමානය වන විට ජපානයේ ප්‍රධාන ඖෂධ සමාගමක් විසින් කොතලහිඹුටු ශාකයේ අන්තර්ගත ඖෂධීය සංඝටක වලින් අධික තරබාරුව(Obesity) සඳහා ඖෂධයක් නිපදවා ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගෙන ඇත. ඊට අමතරව දියවැඩියාව සඳහාද තවත් ඖෂධ නිශ්පාදන කිහිපයක් සඳහාද පේටන්ට් අයිතිය ලබා ගැනීමට පර්යේෂණ වාර්ථා ඉදිරිපත් කර ඇති බව අන්ර්ජාලයේ තොරතුරු වාර්ථා ඇත. ඔවුන් නිත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙම ඖෂධ ගෙන යා නොහැකි බැවින් අනීතික මාර්ග ඔස්සේ මෙම ශාක කොටස් මෙරටින් බැහැර කර ගැනීමට නිරන්තරයෙන් උත්සහ දරන්නේ එබැවිනි. අධික වාණිජ වටිනාකමක් ලැබෙනා බැවින් විදේශිය සමාගම්වල අවශ්‍යතා වෙනුවෙන් මෙම මිල කල නොහැකි ඖෂධීය ශාක කොටස් හොර රහසේ එකතු කර හොර රහසේම රටින් පිටකීරීමට සමහර දේශිය සමාගම් සහ පුද්ගලයින් උත්සහ ගැනීම් නිරන්තරයෙන් වාර්තා වන්නේද එබැවිනි. අවස්ථා කිහිපයකදිම රටින් පිට කිරිමට සුදානම් කර තිබු කොතලහිඹූටු ශාක කොටස් විශාල ප්‍රමාණයක් මෙරට රේගු අංශ සහ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම් ගැන වාර්තාවන් මාධ්‍ය තුලද පසුගිය වසර දහයක පමණ කාලය තුල වාර්තා වුයේ මෙහි දිගුවක් ලෙසය. කොතලහිඹූටු ඇතුළු දේශිය ඖෂධ ශාක වර්ග වල සැඟවී ඇති සෑබෑ වටිනාකම නොදන්නා නිසාවෙන් හෝ නැතිනම් පටු ආර්ථික වාසි බලාපොරොත්තුවෙන් තම මෙරටේ මිල කල නොහැකි සම්පත් මෙසේ රටින් පිටකිරීමට කටයුතු කරනා තැනැත්තන් නිසාවෙන් කොතෙක් නම් හානියක් රටට සිදුවන්නේද? බහුජාතික ඖෂධ නිශ්පාදන සමාගම් වලට මෙවැනි ඖෂධීය ශාක වර්ග රත්රන් ආකර වලටත් වඩා වටිනා සම්පත්ය. ඔවුනට ඒවා Medicinal gold mine වේ. ඔවුන් ඒවා තමන් සතු කර ගැනීමට ඕනෑම මිලක් ගෙවීමට සුදානම් වන්නේ එහි සැබෑ වටිනාකම දන්නා නිසාවෙනි. එහෙත් අප……..
දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ඖෂධීය කර්‍ම සඳහා බහුලව භාවිතයට ගන්නේ කොතලහිඹුටු ශාකයේ මුල් සහ දඬු කොටස්ය. කොතලහිඹුටු දඩු වලින් සෑදු ලී භාජන වල රාත්‍රියට වතුර දමා තබා උදෑසන හිස්බඩ එම ජලය දියවැඩියා රෝගින්ට පානයට ගැනීමට දේශීය ආයුර්වේදයේදි වෛද්‍යවරු නිර්දේශ කරයි. ඊට අමතරව සංස්කාරිත ඖෂධ යෝග වලට අමතරව කෂාය සඳහාද කොතලහිඹුටු යොදා ගැනීම සිදුවේ. රුධිරයේ අධිකව සීනි එකතුවන රෝගින් සඳහා සහ බහුමුත්‍රතාවය ඇති රෝගින් සඳහා කොතලහිඹූටු පොතු ඒකීය ද්‍රව්‍යක් ලෙස තම්බා පානයක් ලෙස බීමට දීමද දේශීය ආයුර්වේදයේ අනුදක්වා ඇත. දේශීය වෛද්‍ය ක්‍රමයේ දියවැඩියාව සඳහා යොදනා සුප්‍රසිද්ධ ඖෂධ යොගයක් ඇතුලත් පහත කවියේ හිඹුටු මුලා යනුවෙන් දක්වා ඇත්තේ කොතලහිඹුටුය.
ගෙන තිපලත් ගොකටුමු ලා
හෙල සුදුනුත් බැවිලමු ලා
දියවැඩියා නැත සිය ලා
ආයුර්වේද ද්‍රව්‍යගුණ විඥානයට අනූව කොතලහිඹුටු කටුක සහ තික්ත රසයෙන් යුක්තය. රූක්ෂ සහ තීක්ෂ්ණ ගුණ සහිතය. ශීත වීර්යය. විපාකය කටුය. ප්‍රභාව දක්වා ඇත්තේ රක්ත ශෝධක සහ මේහ නාශක යනුවෙනි. දෝෂ කර්ම අනූව වාත සහ කඵ දෝෂ නාශකය. ප්‍රධාන කර්මය ලෙස දක්වා ඇත්තේ ව්‍රණ ශෝධන, රක්ත ශෝධන සහ ප්‍රමේහඝ්න යන කර්මයන්ය. දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනූව ව්‍යාවහාරික රෝග අවස්ථා වන්නේ විෂමේහ, මධූමේහ, ශර්කරාමේහ ඇතුළු ප්‍රමේහ රෝග අවස්ථාද ආමවාත සහ චර්මරෝග සඳහාය. මේ අතරින් මේහනාශක ගුණයෙන් කොතලහිඹූටු අනූන බව දේශීය මෙන්ම විදේශිය විද්‍යාඥයින් විසින්ද විවිධ පර්යේෂණ ක්‍රමවේදයන්ට අනූව සිදුකර ඇති පරික්ෂණ වලින් තහවුරු කර ඇත. ඒපමණක්ද නොව ආයුර්වේදයේ දක්වා ඇති රෝග අවස්ථාවන්ගෙන් එහාට ගොස් පෙර සඳහන් කල පරිදි අධික ස්ථූලභාවය ඇති අයගේ ස්ථුලබව අඩු කිරිමේ හැකියාවක්ද කොතලහිඹුටු වල ඇති බව ජපන් පර්යේෂකයන් ඔවුන්ගේ පර්යේෂණ වලින් තහවුරු කර ඇත.
මෙම ශාකයේ ඉදුණූ ඵල ඉතාම රසවත්ය. ඒවා පක්ෂින්ගේ ප්‍රියජනක ආහාරයකි. ශාක ප්‍රචාරනය බොහෝ දුරට සිදුවන්නේ එසේ ආහාරයට ගන්නා පක්ෂීන් හරහාය. එසේම ප්‍රණිත පළතුරක් ලෙස හිඹුටු ගෙඩි ආහාරයට ගැනීමේ පුරුද්ද අතීතයේ සිට ස්වදේශික ගැමියන් තුල පැවත ඇති අතර වර්තමානයේ හිඹුටු ශාක දුර්ලභ වීම හේතුවෙන් සහ නූතන පරම්පරාවේ මෙම ශාක හඳුනන්නන් අඩු වීම නිසාවෙන් හිඹුටු ගෙඩියක රස බැලීමට බොහො දෙනෙකුට අවස්ථාව නොලැබී ගොස් ඇත. කොතලහිඹුටු ශාකය පහසුවෙන්ම හඳුනා ගත හැක්කේ එම ශාකයේ කඳේ හරස් කඩේ ඇති පැහැදිලිව පෙනෙනා රතු පැහැ හා වලයාකාර පිහිටි රේඛා(වෛරම්) වලිනි. ඊට අමතරව විශේෂ ලක්ෂණයක් වන්නේ මුලේ පොත්තේ පැහැයයි. එය කහ පැහැතිය. මෙම වර්ණක නිසා ස්වාභාවික “ඩයි” වර්ග නිපදවීමටද කොතලහිඹුටු භාවිතා කර ඇත්තේ ඖෂධයක් ලෙස භාවිතා කරනවා ට අමතරවය. අවාසනාවකට මෙම අති විශේෂිත දේශිය ඖෂධ ශාකයේ යම් යම් ඖෂධීය සංඝඨක මෙරට අපට අද දවසේ අහිමිව ඇත. එහි වගඋත්තරකරුවෝ කවුරුන්ද?