ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
බැමිතිරිය නොහොත් ලුණුවිල ආරක්ෂා කර ගමු…

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ දේශිය වෛද්‍ය ක්‍රමය පිළිබඳව ශාස්ත්‍රානුකූල අධ්‍යයනයේදි එහි අන්තර්ගත ඖෂධ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු විම නිරායාසයෙන්ම සිදුවේ. මෙම වෛද්‍ය ක්‍රම වල ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබන ඖෂධ සාතිෂ්‍ය බහුතරයක්  සැකසී ඇත්තේ උද්භිද ද්‍රව්‍ය පදනම් කර ගෙන වීම මෙම වෛද්‍ය ක්‍රම ද්විත්වයේම ඇති සුවිශේෂි අනන්‍යතාවයක් ලෙස හඳුනා ගත හැක. එහෙත් මේ පිළිබඳ සාකච්ඡා කරන්නන් මෙම උද්භිද ද්‍රව්‍ය යනු කාබනික සහ අකාබනික ද්‍රව්‍යන්ගේ නිර්මිතයන් බව නොසලකා හැර කථා කරනු ලබයි.  බටහිර වෛද්‍ය විද්‍යාව තුල භාවිතා කරනු ලබන ඖෂධ සැකසි ඇත්තේද කාබනික සහ අකාබනික රසායනික සංයෝග වලින් බව මෙහිදි අමතක නොකල යුතුය. ඉතිහාසය පිරික්සිමේදි මිට වසර 10000 පමණ පෙර යුගයේ සිට ක්‍රමිකව වර්ධනය වු රසායන විද්‍යාව 17 සහ 18 වැනි සියවස් කර එළඹෙන විට එහි වර්ධනීය ස්ථානයකට පැමිණිමට සමත්ව ඇත. සුපුරුදු පරිදි මෙම වර්ධනයන් බොහෝමයක් සිදුවන්නේ යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් වන අතර බොහෝ නූතන රසායන විද්‍යාවේ පෙරගමන්කරුවන් යුරෝපය තුල බිහිවිම එයට හේතු වන්නට ඇත. Antoine Lavoisier, Boyle, and Dalton, Berzelius ආදින් ඒ පිරිස අතර ප්‍රධානත්වය ගනි.  කෙසේ නමුත් සුවිශේෂී තත්ත්වය වන්නේ පෙරදිග වෛද්‍ය  විද්‍යාවන් තුල උද්භිද තුලින් ඖෂධ නිර්මාණය කර ගැනීමේදි මුල් කාලයේදි හෝ පසු කාලයේදි හෝ බටහිර රසායන විද්‍යවෙහි බලපෑමකට ලක් නොවී එයටම අනන්‍ය වු යම් සුවිශේෂි න්‍යායයන් භාවිතා කර ඖෂධ සැකසී තිබිමයි.

වඩා වැදගත් වන්නේ බටහිර විද්‍යාව විසින් ලොව පුරා පතුරුවා හරිනු ලැබූ  විවිධ න්‍යායයන් බිහිවිමටත් බොහෝ පෙර පෙරදිග ශාස්ත්‍රඥයින් විසින් ලොවට ඉදිරිපත් කර ඇති ආයුර්වේද හෝ දේශිය වෛද්‍ය ක්‍රමය සහ එහි භාවිතා කරනු ලබන ඖෂධ අදද එපරිද්දෙන්ම භාවිතා කිරීමයි. තවද ඒවා අදද නොනැසි පවතින්නේ එවායේ සාඵල්‍යත්වය ප්‍රායෝගිකව තහවුරු වි ඇති නිසාවෙන් බව පිලිගැනීමට සිදුවේ.

එනමුත් විටින් විට බටහිර දැණුම විසින් ආයුර්වේද සහ දේශිය වෛද්‍ය ප්‍රතිකාර අභියෝගයකට ලක් කරනුයේ එම ප්‍රතිකාර බටහිර විද්‍යාවේ  මිණුම් දඩු වලට ග්‍රහනය නොවිම නිසාද නැතිනම් වෙන හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත.

කෙසේ නමුත් විටින් විට බටහිර ශාස්ත්‍රඥයින් විසින් විවිධ උද්භිද වර්ග ගැඹුරු විද්‍යාත්මක පර්යේෂණ සහ විශ්ලේෂණයකට යොමු කර යම් යම් අනාවරණයන් සිදුකර ඇත.  ඒ අනුව එසේ අනාවරණය කර ගනු ලැබු විවිධ විද්‍යාත්මක සොයාගැනීම් තුලින් එම උද්භිද ද්‍රව්‍යයන් පිළිබඳව ස්ථාවරයන් ප්‍රකාශ කිරීම සිදු වි ඇත. එසේ ප්‍රකාශිත ස්ථාවරයන් අනුව එම උද්භිද පිළිබඳ යම් විද්‍යාත්මක පිලිගැනීමක් ලැබෙන අතර ඒ පර්යේෂණ ප්‍රතිඵල අනුව බටහිර වෛද්‍ය විද්‍යා අතුළු විවිධ පාර්ශව විවිධ මත ඉදිරිපත් කිරිම සිදු කරමින් පවති. විශේෂත්වය වන්නේ එවැනි බොහෝ බටහිර විද්වතුන්ගේ විද්‍යාත්මක විශ්ලේෂණයන්ගෙන් පැහැදිලි වෙන සහ මතුවන තොරතුරු බොහෝමයක් බටහිර විද්‍යාවේ කිසිදු සම්බන්ධයක් නොතිබු යුගයක සහ ප්‍රදේශයකදී ඊට සියවස් ගණනාවකට පෙර ඉදිරිපත් කල ආයුර්වේද සහ දේශිය වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු වලට බෙහෝ සෙයින් සමාන විමයි.

දේශීය ඖෂධ අතර “බැමිතිරිය” යන හෙළ නාමයෙන් හදුන්වන ‘ලුණුවිල’ ඖශධිය ශාකයද එවැනි පර්යේෂණයන්ට ලක් කරනු ලැබු සුවිශේෂි ඖෂධීය ශාකයකි. විද්‍යාත්මක නාමය Bacopa monnieri (L) ලෙසත් ආයුර්වේදය තුල බ්‍රාහ්මී යන නාමයෙන් මෙම ඖෂධ ශාකය හදුන්වයි. (අන්තර්ජාලයේ Bacopa monnieri (L) යන නාමය සටහන් කොට සොයා බැලු විට මෙම ශාකය පිළිබඳව සිදුකර ඇති පර්යේෂණ රාශියක තොරතුරු සොයා ගත හැක)

ජලාශ්‍රිත භූමි ප්‍රදේශ වල බහුල වශයෙන් සහ පහසුවෙන් වර්ධනය වන මෙම අකාෂ්ඨිය වැල් ශාකය මාංශලමය කුඩා පත්‍ර වලින් සැදි ශාකයකි. වැව් ආශ්‍රිතව හා කිවුල් ජලයෙහි හොඳින් වැවේ. ගෘහ ආශ්‍රිතව අලංකාර පැලෑටියක්‌ ලෙසද වැවිය හැක. බිම දුවන මංසල කඳකින් යුක්‌තය. ඒකවාර්ෂික පැළෑටියකි. කොළ හට ගන්නා තැනින් පහළට මුල් හට ගනී. නටුවල ළා දම් පැහැ මල් හටගනී. මලක රේණු හතරක්‌ දැකිය හැක. තුඹක්‌ සහිත ගෙඩියේ පෙති දෙකකි. ලවණ ජලය සහිත ජලාශ සහ කලපු වැනි ස්ථාන වල මහා පරිමාණයෙන් වැඩිම සිදුවේ.  දම් පැහැයට හුරු කුඩා පස්පෙති මලක් සැදේ. එහි වටිනාකම නිසා සරස්වතී, දිව්‍ය තේජා, ආදි තවත් පර්යාය නම් ගණනාවක් ම ඊට පටබැඳී ඇත. ශාකයේ සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙන අතර බ්‍රහ්මයා ලබාදුන් ත්‍යාගයක් ලෙස හින්දූන් විශ්වාස කරන බැවින් එය බ්‍රාහ්මී ලෙස හඳුන්වන බව ග්‍රන්ථ වල සඳහන්ය.

ලුණුවිල නැතිනම් බ්‍රාහ්මි ශාඛය ආයුර්වේදය තුල නැතිනම් දේශිය වෛද්‍ය ක්‍රමය තුල ඉතාම වටිනා සහ විශේෂිත ඖෂධීය ශාකයකි.  මොළය සහ මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිතව ක්‍රියාත්මක වන බොහෝමයක් උද්භිද ඖෂධ අතර ලුණුවිල ඉදිරියන්ම සිටියි. බටහිර පර්යේෂකයින් විසින් ලුණුවිල / Bacopa monnieri (L) ශාකය පිළිබඳව ‍දැඩි ලෙස පරික්ෂණ සිදු කරන්නේද එම ඖෂධීය ශාකය තුල ඇති ක්‍රියාකාරි ගුණය නිසාවෙනි. මොළය සහ මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයන් සඳහා ප්‍රමාණවත් සාර්ථක ඖෂධමය ප්‍රතිකාර හිඟ බටහිර වෛද්‍ය ක්‍රමය මේ නිසාම ලුණුවිල වැනි සුවිශේෂි ඖෂධ ශාක පිළිබඳව හැදෑරිම සහ පරික්ෂණ කිරිම සිතා ගත හැක.

මෙහි ඇති වඩාත් උත්ප්‍රාසජනක කරුණ වන්නේ මෙවැනි පරික්ෂණ වලට යෑමට පෙර ලුණුවිල සතු විශ්මයජනක ස්නායු පද්ධතිය තුල ක්‍රියාත්මක විමේ ශක්තිය ආයුර්වේදය පෙන්වා දි තිබියදි එය ප්‍රතික්ෂේප කල බටහිර වෛද්‍ය උගතුන්ම දැන් එය මහානර්ඝ ඔසුවක් ලෙස දැකීමයි. ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥනයට අනුව ලුණුවිල රසයෙන් තිත්ත වේ. වීර්යයෙන් උෂ්ණය. ලඝූ හා ස්‌නිග්ධ ගුණ යුක්‌තය. විපාකයෙන් කටුකය. දෝෂ කර්ම වශයෙන් සෙම් නාශක ගුණය ඇත හෙවත් සෙම් කෝෂය සහ වාත කෝෂය සමනය කරන ඔසුවකි.  ඉන් ගම්‍ය වන සත්‍ය වන්නේ ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ක්‍රමයේ භාවිතා වන ඖෂධ ශාක කවුරුන් කෙසේ පර්යේෂණ සිදු කිරිමකින් තොරව ප්‍රශ්ණ කලද නිසි ක්‍රමවේදයක් තුල සිදු කරනු ලබන විශ්ලේෂණයකදි ඒවායේ සැබෑ ස්වරූපය නැවත වරක් තහවුරු වන බවයි. ඉතා අධික මුල්‍ය පිරිවැයක් දැරීමට සිදුවන අති නවීන පර්යේෂණාගාර තත්ත්ව යටතේ සිදුකල යුතු  විමර්ශණයන් බැවින් සියළුම ආයුර්වේද සහ දේශීය ඖෂධ ශාක තවමත් නිසි විශ්ලේෂණයකට ලක් කර නොමැත. විශේෂයෙන් ඒ සඳහා අවැසි තාක්ෂණය සඳහා අධික මිලක් දැරීමට සිදුවන බැවින්  අප රට වැනි රටවලදි එවැනි පරික්ෂණ සිදු වන අවස්ථා ඉතා විරලය. නමුත් තේරුම් ගත යුතු සත්‍යය නම් පරික්ෂණ වලින් තහවුරු වන තෙක් මෙම ඖෂධ ද්‍රව්‍ය තුල අඩංගු යැයි ආයුර්වේදයේ සඳහන් ගුණ නොමැති යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බවයි.

ලුණුවිල ඖෂධීය ශාකයේ දක්වා ඇති සුවිශේෂි ගුණ….

බුද්ධි වර්ධනය කිරිමේ විභවය මෙම ශාකයේ ඇත. ස්මෘතිය නැතිනම් මතක ශක්තිය වර්ධනය කිරිමේ ගුණය ඇත. එබැවින් අධ්‍යාපනය ලබන දරුවන්ට, වයෝවෘද්ධ වැඩිහිටියන්ට සහ මතක ශක්තිය හීන වීම වැනි මනෝකායික රෝග වලින් පෙළෙන්නන්ට දිනපතා ලබා දිය යුතු විශිෂ්ඨ ඖෂධයක් වේ.  මෙතුලින් නැවත මොළේ පටකවල යම් වර්ධනයක් වීමක් සිදුවිමේ හැකියාව ඇති බව පරික්ෂණ වලින්ද තහවුරු කර ඇත. (එය පරික්ෂණ සිදු කිරිමට පෙර ආයුර්වේද මුල ග්‍රන්ථ වලද දක්වා ඇත.)

ආසාත්මකතාවයන් නිසා ශරිරයේ අතිවන විවිධ සංකුලතා සමනයට ලුණුවිල ප්‍රත්‍යක්ෂ ගුණ ගෙන දෙන බවද ආයුර්වේදයේ දක්වා ඇති අතර එය නවීන පරික්ෂන වලින්ද තහවුරු කර ඇත. එහිදි සිදුවන්නේ එවැනි විස ශරීරයෙන් ඉවත් කරන්නේ අක්මාව මගින් විමත් අක්මාව දැඩි ලෙස වෙහෙසීමෙන් අක්මාව දුර්වල  විමට වැඩි ඉඩක් තිබිමත් දුර්වල අක්මාවන් නිරෝගී කරන්නත් ලුනුවිල ඖෂධයට හැකි විමයි.

තවද බාහිර ආලේපයක් ලෙස විවිධ ප්‍රදාහ තත්ත්ව වලදි ලුණුවිල සහමුලින්ම භාවිතා කිරිමේ සුදුසු බව දක්වා ඇත.

රාත්‍රි නින්ද අඩුවිම රෝගයක් සේම රෝග ලක්ෂණයක්ද (මානසික ආතතිය) වේ. අද වර්තමානයේ ලොව පුරා වැඩියෙන්ම භාවිතා වන ඖෂධයක් ලෙස නිදි පෙති (Sleeping Tablets) හදුන්වා දිය හැක. නිදි පෙති නැතිව සුව නින්දක් නොලබන පිරිස ඉතාම අධිකය.

ලුණුවිල සතු තවත් විශ්මයජනක ගුණයක් වන්නේ නිද්‍රාකරකයක් ලෙස ක්‍රියා කිරිමට ඇති හැකියාවයි. ක්ෂණිකව නින්දට අවතීරණ වීමට මෙය කදිම ඖෂධයක් ලෙස පිළිගෙන ඇත.

කුඩා දරුවන්ට ඇතිවන බොහෝ රෝග වලදි යොදා ගනු ලබන ඖෂධ යොග වල ලුණුවිල අනිවාර්ය අංගයකි. මේධ්‍ය ගුණය දරුවන්ට අවශ්‍ය අතර මේධ්‍ය ගුණය බහුලම ඖෂධයක් වන්නේ ලුණුවිලයි. මොළය සහ ස්නායු පද්ධතියේ දුර්වලතා නිසා ඇතිවන විවිධ රෝග වලින් පීඩා  විදින දර්වන්ට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ලුණුවිල භාවිතා කල හැක. ප්‍රතිශක්තිකරණය අඩු වීම අද වර්තමාන දරු පරපුර අතිවිදින බරපතල සෞඛ්‍ය ගැටළුවකි. ඒ සහදා ප්‍රතිශක්තිකරණ වර්ධකයක් ලෙසත් ලුණුවිල ක්‍රියාත්මක වන වබව දක්වා ඇත. කුඩා දරුවන්ගෙ පණු රෝගයට යහපති.

අපස්මාරය උන්මාදය වැනි රෝග අවස්ථා සඳහාද ප්‍රතිකාරවලදි භාවිතා කරන බව මුල ග්‍රන්ථ වල සඳහන්ය. හදවතේ ක්‍රියාවන්ට ගුණදායක වන ද්‍රව්‍යක් ලෙස බ්‍රාහ්මි හැදින්විය හැක.

දරුවන්ට කුඩාකාලයේ සිටම ලුණුවිල යුෂ ස්වල්පයකට සමග මීපැණි බිඳුවක් දෙකක් මුසුකොට උදෑසන දෙන්නේ නම් ඔවුන්ගේ ඉගෙනුමට පලදායක වන බව ආයුර්වේද බාලරෝග විෂයේදි දක්වා ඇත. ඊට අමතරව කතාකිරීමට පමාවන දරුවන්ට කතාකිරීමේ හැකියාව ඉක්මන් කර දෙන ඖෂධයක් ලෙසත් ලුණුවිල සැලකේ. (ඒ සඳහා ඒවා රතුලූනු හෝ එළඟිතෙල් සමග මිශ්‍ර කර දෙනු ලබනවා.)   බිළිඳුන්ට රන් කිරි කට ගෑමේ දී මවුකිරට ලුණුවිල යුෂ ස්වල්පයක් මුසු කොට දෙන්නේ ස්මෘතිය බලය ආයු වර්ණ සම්පත් ලබා දීමේ අපේක්ෂාවෙන් බව අමතක නොකල යුතුයි. නමුත් අද වන විට රන්කිරි කට ගැම වැනි සෞඛ්‍යමය කරුණු ගිලිහි ගොස් තිබිම බොහෝ රෝග පහසුවෙන් දරුවන් කරා පැමිණිමට හේතු වි ඇත.

ආහාරයක් ලෙස භාවිතයට

ඉන්දියාවේ සුප් වර්ග සකස්කිරීමේදී ලුනුවිල ශාකයේ කොළ කිහිපයක් එයට යොදා ගන්නේ එමි ඇති විෂ හරණ ගුණය හේතුවෙනි. එසේම සලාද මිශ්‍ර කොළ මැල්ලුම් වලදීත් මේ ශාකයේ කොළ කහිපයක් එකතු කිරිම සිදුවේ. එවිට පලා ආහාරයක වගේම ලුනුවිල මිශ්‍ර කිරීමෙන් ශරීරයේ පවතින රෝග රැසකට වක්‍රකාරව ඖෂධීය ගුණයකුත් ලැබෙන අතර ඒකීයව ලුණුවිල සම්බොලයක් ලෙසත් ආහාරයට එකතු කර ගත හැක. මදක් තිත්ත රස බැවින් පොඩි නොවන සේ කපා ගැනිම සිදු කල යුතුයි. ලුණුවිල අමුවෙන් හෝ වියලි කුඩු  තේ එකක් ලෙස වරින් වර පානය කිරමේ හැකියාව ඇත.

ඒ වගේම ලුනුවිල කුඩු තේ හැන්දක් එළකිරි වීදුරවකට දමා දිනපතා උදෑසන බීමට ඔබ පුරුදු වෙනවනම් ශරීරයේ රුධිරය පිරිසිදු වෙන්න එය කදිම ඔසුවක් ලෙස දේශිය වෙදකමේ දක්වා ඇත.  නිරෝගී සුව සහන සඳහා ලුණුවිල ශාකය සහ මුලින් ගෙන කොළ කැඳ සකසාගත හැකියි. මෙය බාල මහළු සහ තරුණ සියළු දෙනාටම එකසේ ප්‍රයෝජනවත් වන ඖෂධයක් වන අතර ඒකියව සේම වෙනත් ඖෂධීය ද්‍රව්‍ය සමග සංයෝග කර ශරීරයට ලබා දිමේන් සිරුරට ලැබෙනා ගුණ වැඩි දියුණු කර ගත හැකිවේ.

කිරි දෙන මවුන්ට නොයෙක් ආකාරයෙන් ලුනුවිල ආහාරයට සකසා දෙන්නේත් දරුවාගේ යහපත් වර්ධනය උදෙසායි. ලුණුවිල වල ඇති සුවිශේෂ සංයෝග මගින් මොළයේ නව සෛල ජනනයට උත්තේජන සපයමින් මහලුවියේ මොළයේ ඇතිවන අඩපණවීම් වළකන අතර තරුණකම දිගු කර දිමද සිදුකරයි. ලුණුවිල චර්ම රෝග වණ කුෂ්ට කැසීම් වලට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවෙන් යුක්තයි. සමේ වර්ණය පැහැපත් කරන අතර දහඩිය හොඳින් පිට කරයි. මුත්‍රා කාරක ලේ පිරිසිදු කිරීමේ ශක්‌තියක්‌ තිබේ.

අවසාන වශයෙන්……..

ගෙමිදුලෙහි හා භාජනවල මෙම පැළෑටිය අලංකාර ලෙස වැවිය හැකිය.  විවිධ ආක්‍රමණික ශාක වර්ග සහ මල් වර්ග වලින් තම නිවස සරසා ගන්නා අද ගෘහනිය තම දරුවන්ගේ කායික සහ මානසික නිරෝගීතාවයට මහත් රුකුලක් වන ලුණුවිල ගැන දන්නේ නැත. නිවසේ දිය සිරාව ඇති ස්ථානයක හෝ වතුර රැස්කල හැකි විසිතුරු පොච්චියක හෝ ලුණුවිල පැලයක් සිටුවා ගන්න. එය ඔබට ඔබගේ දරුවන්ගේ සෞඛ්‍යයට අලංකාර ඖෂධයක් වේවි.