ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
දැනගෙන බුලත් කන්න

ලෝකයේ වසරකට වාර්ථා වන මුඛ සහ මුඛ-ග්‍රසනික පිළිකා රෝගීන් ප්‍රමාණය අතුරෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් වාර්ථා වන්නේ බුලත් සැපීම සුලබව දක්නට ලැබෙන දකුණු ආසියාතික කළාපයේ රටවලිනි. ආසියාතික රටවල් නොවන, සංක්‍රමණික ආසියාතිකයින් බහුලව ජීවත් වන මහා බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව වැනි රටවල පවා මුඛ පිළිකා සහිත රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආසියාතික සංක්‍රමණික සම්භවය සහිතවුන් බව සොයා ගෙන ඇත. ඔවුන් බහුතරයක් දෙනා ආසියාතික තම හුරුපුරුදු අනූව එම රටවල් තුලදීද බුලත් සැපිමේ පුරුදු පවත්වා ගෙන ගොස් ඇති බව හෙලිවි ඇත. සමස්ථ මුඛ පිළිකා රෝගීන් අතුරින් වැඩි ප්‍රතිශතයක් පිරිමින්ය. එසේම බුලත් කෑම වැඩියෙන්ම දක්නට ලැබෙන්නේද පිරිමි පාර්ශවය අතර වන බැවින් බුලත් සැපීම සහ මුඛ පිළිකා අතර සෘජු සම්බන්ධතාවයක් ඇති බව පෙන්වා දිය හැක.

ඇත්තටම බුලත් පිළිකාජනකද?

බුලත් කෑමට පුරුදුව සිටින්නන්ගෙන් 99.99% ක්ම බුලත් සමග පුවක්, හුණු සහ දුම්කොළ වැනි අමතර ද්‍රව්‍ය එකතු කර ආහාරයට ගැනීමට පුරුදුව සිටිති. ඒ අනූව සෘජුවම බුලත් මුඛ පිළිකා ජනක යැයි පැවසිය නොහැකි වන්නේ එකතු කර ගන්නා අමතර ද්‍රව්‍යද පිළිකා කාරක විය හැකි බැවිනි. නමුත් බුලත් රහිතව පුවක්, හුණු, දුම්කොළ පමණක් ආහාරයට ගැනීමේ පුරුද්දක් කාහටවත් නොමැත. කෙසේ වුවත් බුලත් සැපීම සහ පිළිකා ඇතිවීම අතර ඇති සම්බන්ධතාවය සෙවීම සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් සිදුකරණ ලද අධ්‍යයනයකදී සොයා ගෙන ඇත්තේ සෘජුවම දුම්කොළ මිනිසා කෙරෙහි පිළිකා ජනක වන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තවත් උප ආයතනයක් වන පිළිකා පිළිබඳ අන්තර් ජාතික පර්යේෂණ ආයතනය(IARC) මගින්ද සිදුකරණ ලද පර්යේෂණයක් තුලින් සොයා ගෙන ඇත්තේ දුම්කොළ පමණක් නොව බුලත් සමග ආහාරයට ගන්නා පුවක්ද පිළිකාජනක වන බවයි. මෙය බුලත් කෑමට පුරදුව සිටින්නන්ට තරමක් විමතිය දනවන කරුණක් වන බව පැහැදිලිය. එසේ වන්නේ දුම්කොළ හුණු කෙසේ වෙතත් පුවක් නොමැතිව බුලත් කෑම තරමක් අපහසු වන බැවිනි. දුම්කොළ සමග බුලත් කෑමෙන් මුඛය, ග්‍රසනිකාව සහ අන්නස්‍රෝතය ආශ්‍රිතව පිළිකා ඇතිකෙරෙන බව තහවුරු කෙරී ඇත. මෙනිසා දුම්කොළ රහිතව බුලත් කෑමට බොහෝදෙනා පුරුදු වුවත් මුඛ පිළිකා ඇතිවීමේ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස පහල නොගොස් ඇත්තේ පුවක් වලද පිළිකා කාරක ඇති බැවින් බව දැන් පැහැදිලි විය යුතුය. බුලත් පත්‍ර නිස්සාරක මීයන් තුල මුඛගත කිරීමෙන් පිළිකා ඇතිවීම සිදු නොවූ බව පර්යේෂණ කණ්ඩායම් පෙන්වා දී ඇත(Bhide et al 1979; Shirname et al 1983). එබැවින් බුලත් වල පිළිකා කාරක නොමැති බව තහවුරු කල හැක.

බුලත් නොකා ඉන්න බැරිද?

බුලත් කෑමට ආසියාතිකයින් වැඩි නැඹුරුවක් දක්වා ඇත්තේ හුදු පුරුද්දක් වශයෙන් සලකා පමණක් නොව එහි අන්තර්ගත විශිෂ්ඨ ඖෂධීය ගුණ නිසාවෙන්ද යන මතය පහසුවෙන් බැහැර කල නොහැක.  වර්තමානයේ මෙන් නොව අතීතයේ බුලත් ආහාරයට ගෙන ඇත්තේ විවිධ ඖෂධීය සංයෝගද සමගින් යම් පිළිගත් ක්‍රමවේදයකට අනූවය. තාම්බුල භක්ෂණය ලෙස ආයුර්වේදයේ දක්වා ඇත්තේද බුලත් සැපීම ගැනයි. එහිදී බුලත් සැපීම පිළිබඳව ඉතා හොද පැහැදිලි කිරීමක් කර ඇත. ඒ අනූව තාම්භුල භක්ෂණය යනු ඖෂධීය සත්කාරයකි. ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥානයට අනූව බුලත් වල ඇති රස ගුණ වීර්යය සහ විපාක හඳුන්වා දීම තුලින් ආයුර්වේදය තුල බුලත් ඖෂධීය වශයෙන් කොතරම් වැදගත් ද්‍රව්‍යයක්ද යන්න පෙන්වා දී තිබේ. බුලත් කටු, තික්ත සහ කෂාය රසයෙන් යුක්ත බව දක්වා ඇත. ගුණයෙන් ලඝූ හා තීක්ෂ්ණය. කටු විපාකයක් සහිතය. වීර්යෙන් උෂ්ණය. බුලත් වල රස ගුණ සහ විපාකය අනූව කඵ දෝෂයද, විර්ය නිසා වාත දෝෂයද සමනය කෙරේ. බුලත් වාත හා කඵ සමන කාරක ඖෂධයක් ලෙස ආයුර්වේදයේ පිළිගෙන ඇති බැවින් ආයුර්වේදයට අනූව බුලත් කෑම කඵ සහ වාත දෝෂ වල වෘද්ධියක් ඇතිවන රෝග සඳහා ‍ඖෂධීය කාර්යයක් ලෙස යොදා ගත හැක. ඒ අනූව කිසිවෙකුටත් බුලත් නොකා සිටින්නයැයි උපදෙස් දිමේ යුක්තියුක්ත තාවයක් නැතිය.

බුලත් කෑම නිසා මුඛයේ විෂදතාවය ඇතිකරණ බව ආයුර්වේද ග්‍රන්ථ වල දක්වා ඇත. එය ආසියාතිකයින් බොහෝ දෙනෙකු තම අත්දෑකිමෙන්ම අත්විද ඇති බව නොකිය යුතු මනාය. බොහෝ දෙනෙකු නොදැන සිටියාට බුලත් හෘදයේ බලකාරක ශක්තිය ඇත.  හෘදය-හතිය හා රක්තභාරය(රුධිර පිඩනය) අඩු කිරිමේ හැකියාව සහිතයි. එසේම ධ්වජභංග රෝගයේදී (ලිංගික අප්‍රාණිකත්වය) බුලත් සැපීම ගුණදායක වන බව දක්වා ඇත. එසේම බුලත් වාජිකරණ ගුණයෙන්ද යුක්තය. බුලත් කොළ යුෂයේ ආහාර රුචිය වර්ධණය කිරීමේ ශක්‍යතාවය ඇත.  එසේම සිරුර සිසිල් කිරිමේ හැකියාවද ඇත. කැස්ස ඇතිවිට බුලත් කොළ යුෂ පානයෙන් කැස්ස තත්ත්වය අඩුකර ගත හැක. මුඛයේ දුඟද නැති කර ගැනීමට බුලත් කැම ප්‍රශස්තය. කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිට බුලත් කොළ යුෂ අමු ඉඟුරු යුෂ හා මදුරුතලා පත්‍ර යුෂ මී පැණියෙන් මිශ්‍ර කොට පානය කිරීමට දෙනු ලැබේ. විශේෂයෙන් වාත ආබාධ ඇති විට දිනපතා බුලත් පත්‍රයක් හැපිමට මඟින් වාත සමනයක් සිදුවේ. ස්නායු දුර්වලතා, මුත්‍ර ධාරණයට (Retention) ආහාර අජීර්ණ සඳහා බුලත් යුෂ ගුණදායක බව දක්වා තිබේ. බුලත් කොළ යුෂ උගුරේ සෙම බැදීම වලක්වන අතරම අක්මාවේ අසාමාන්‍යතා සුවපත් කිරීමටත් යොදා ගැනේ. ඒ අනූව පෙනී යන්නේ පැරැන්නෝ බුලත් කෑම සිදු කර ඇත්තේ එමඟින් තමන්ගේ සිරුරට ලැබෙන්නා වූ අමතර පෝෂණිය හා ඖෂධීය ගුණාංගයන් හේතුවෙන් බවයි. ඒ සඳහා බුලත් වලට අමතරව සාදික්කා, වසාවාසි, හිඟුරුපියළි, කරදමුංගු, කරාබුනැටි වැනි අමතර ඖෂධීය ද්‍රව්‍යද එකතු කරගෙන ඇත. නමුත් එද බුලත් කෑම පුරුදුව සිටින්නන්ගෙන් මේවා තම බුලත් විටට එකතු කර ගන්නේ කීයෙන් කීදෙනාද?

අභ්‍යන්තර ඖෂධයක් වන්නා සේම  බාහිර ඖෂධීය සත්කාරයකයක් වශයෙන් බුලත් පත්‍ර යොදා ගෙන ඇත. ග්‍රන්ථි ශෝථ, ස්ථන ශෝථ, සන්ධි ශෝථ හා සන්ධි ශුල අවස්ථා සඳහා බුලත් පත්‍ර රත් කර තැවීමෙන් සහ රත්කර බැදීමෙන් ශෝථ සහ ශුලයන් සුවපත් වන බව දක්වා ඇත. බුලත් පත්‍ර රත්කර පයෝධරයන්හී තබා බැදීමෙන් කිරි නවතින බවද ශෝථය සුවපත් වන බවද ආයුර්වේදයේ සඳහන්ය. කැපීම්  තුවාල සඳහා  තලන ලද බුලත් කොළ යෙදීමෙන් කැපීගිය තැන් හාවී තුවාල සුවපත් වන බව දේශිය අත්බෙහෙත් අතර දක්වා ඇත. ගෙඩි වෙදකමෙහි ගෙඩි මත බුලත් කොළ විලේපයක් මෙන් සාදා තබන බව දක්වා ඇත. ශීර්ෂ ශූලයන්ගෙන් පීඩා විදින්නන්ට බුලත් කොළ යුෂ නාස් පුඬුවට දමා විවේකීව සිටීමට සැලැස්වීමෙන් සුවයක් ලැබෙන බව දක්වා ඇත. එසේම බුලත් කොළය යාන්තම් රත්කොට නළල මත එළීමෙන් සහනයක් ලැබේ. කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති අයට බුලත් කොළ මත අබ තෙල් ස්වල්පයක් අතුරා උණුසුම් කොට උණූසුම්ව තිබියදීම පපුව මත තබා පිරිමැදීම ගුණදායක බව දැක්වේ.    

ආයුර්වේදය තුල බුලත් වල ඖෂධීය ගුණයන් සේම බුලත් වල අහිතකර බලපෑම්ද දක්වා ඇත.

ඉතා බඩගින්නේ සිටින්නන්, විරේක කල අය, ක්ෂය රෝගීන්, ධාතු දුර්වල වූවන්, අක්ෂි රෝගීන් ආදින් බුලත් විට සැපීම සුදුසු නොවන බව දක්වා ඇත. එසේම දිවෙ රසංකුර අක්‍රිය කිරීමටද බුලත් සැපීම හේතුවේ. විශේෂයෙන් හුණු සමග බුලත් සැපීමේදී දත් දිරායාම, කන් ඇසිම අඩුවීම, ඇස් පෙනීම දුර්වල වීම, ශරීර වර්ණය අඩු වීම, වැනි අහිතකර බලපෑම් ඇතිවිය හැක. ළමයින්, ගැබිණි මවුවරුන්, වැන්දඹුවන් සහ තනිකඩයින්ට බුලත් සැපීම නොසුදුසු යැයි දැක්වේ. මේ කිසිදු තැනකදී බුලත් පිළිකා කාරක වේ යැයි හෝ බුලත්කෑම නිසා පිළිකා ඇතිවිය හැකි යයි සඳහන් කර නැත.  බුලත් කෑම සඳහා දුම්කොළ, හුණු සහ පුවක් වැනි දේ වෙනුවට පෙර සඳහන් කල ඖෂධීය ද්‍රව්‍ය එකතු කර ගන්නේ නම් බුලත් කෑමේ අරමුණු ඉටුවනවා මෙන්ම  අමතර වාසියක්ද අත්වේ. සිරුරට අහිතකර සහ  මත්වන සුළු ද්‍රව්‍ය එකතු කර බුලත් කන්නේ නම් ඒ සැබෑ බුලත් කැමේ  අවශ්‍යතාවය නිසා නොව මිනිසා පුරුදු වී ඇති වැරදි ඇබ්බැහිවීම් නිසා සිදු කරන්නකි. පිළිකා ඇතිකරන සහ සිරුරට අහිතකර යැයි බුලත් වලට දැන් තවදුරටත් වරද පැටවිය නොහැක. මක්නිසාද සැබෑ ලෙසම වැරදිකරු වන්නේ බුලත් වැරදි ආකාරයට ආහාරයට ගන්නා පුද්ගලයාම වන බැවිනි.     

සෞභාග්‍යයේ සංඛේතය ලෙසින් සැලකෙන බුලත් ඒ අනුව මිනිසාට අහිතකර ශාකයක් නොව මිනිසාට වචනයේ අර්ථයෙන්ම හිතකර ඖෂධීය ශාකයක් බව සැලකීමට කාළය නැවත පැමිණ තිබේ.