ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
බිංකොහොඹ ගුණෙන් පමණක් නොව මිලද අධිකම ඔසුවයි…..

Munronia pumilaභූනිම්භ යන සංස්කෘත නාමයෙන් දේශිය චිකිත්සාවේදී ව්‍යවහාර වන ද්‍රව්‍ය ගැන ඉන්දියානු ද්‍රව්‍යගුණ ග්‍රන්ථ වල සඳහන් නොවේ. භාරතීය ආයුර්වේද ද්‍රව්‍යගුණ නිගණ්ඩු වල සඳහන් වන්නේ කිරාත නැතිනම් කිරාතතික්ත නම්වු ද්‍රව්‍යයක් ගැන පමණි. කිරාතතික්ත යනු Swertia chirata buch ham යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Gantianaceae කුලයට අයත් ශාකයයි. බිංකොහොඹ නැතිනම් භූනිම්භ යනු Munronia pumila Wight යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Meliaceae කුලයට අයත් ශාකයයි. තිරත වෙනුවට බිංකොහොඹත් බිංකොහොඹ වෙනුවට කිරාතත් භාවිතා කිරීමට දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලදි දේශිය ආයුර්වේද වෛද්‍යවරුන් කටයුතු කරන්නේ එක සමාන ගුණ මෙම ශාක දෙකෙහිම පවතින බැව් විශ්වාස කරනා නිසාවෙනි. විශේෂයෙන්ම මෙම ශාක විශේෂ දෙකම සතුව ඉතා විශිෂ්ඨ ජ්වරඝ්න ගුණයක් පවතින බව ආයුර්වේද සේම දේශිය වෛද්‍ය ක්‍රමයේද පිළිගැනීමයි. කිරාත ශාක දේශිය භූමියේ ස්වාභාවිකව දැක ගත නොහැකි ඖෂධ ශාකයක් වන බැවින් ජ්වරඝ්න ගුණය සේම අධිකතර තික්ත රසයකින්ද යුතු වන නිසා භාරතීය කිරාත වෙනුවන දේශිය චිකිත්සාවේදී බිංකොහොඹ යොදා ගැනිමට ‍පුරාණ දේශිය වෛද්‍ය ප්‍රාඥයින් කටයුතු කලා විය යුතුය. භාරතීය ආයුර්වේද ජ්වර චිකිත්සාවට කිරාතතික්ත ශාකය ඉටු කරන්නාවු මෙහෙයට නොදෙවෙනි මෙහෙයක් නැතිනම් ඊටත් වඩා වැඩි මෙහෙයක් දේශිය චිකිත්සාවේදී ජ්වර රෝග චිකිත්සාව සඳහා බිංකොහොඹ ශාකය ඉටු කරනා බව පැහැදිලි සත්‍යයකි. දේශිය චිකිත්සාව තුලදී භාවිතා කරනා දුර්ලභ එසේම ඉතාම අධික මුල්‍යමය වටිනාකමක් ඇති බිංකොහොඹ ශාකය ගැන උද්භිද විද්‍යාත්ම සේම වෛද්‍ය විද්‍යාත්මක දෘෂ්ටි කොණයෙන් මෙතැන් සිට සාකච්ඡා කරනුයේ එබැවිනි.

SWERTIA_CHIRAYITA_BUCH-HAMබිංකොහොඹ අයත් වන Meliaceae කුලය යනු අප බොහෝ දෙනා හොඳින්ම දන්නා කොහොඹ ශාකයද අයත් වන ශාක කුලයයි. කොහොඹ යනු කොතරම් නම් තික්ත රසැති ද්‍රව්‍යයක් වන්නේද යන වග අප කවුරුත් දන්නෙමු. බිංකොහෝඹ යනු කොහොඹ වල තික්ත රස පරයා යන තික්ත රසක් ඇත්තාවු ශාකයකි. කොහොඹ ශාකය වෘක්ෂ යටතේ වර්ගීකරණය වන විට බිංකොහොඹ ශාකය අයත් වන්නේ පඳුරු ශාක ගොන්නටය. ශ්‍රීලංකාවට අමතරව ඉන්දියාවේ දකුණු දිග සහ ඊසානදිග ප්‍රදේශ වලද නේපාලයේ සිට දකුණු චීනය, වියට්නාමය, බුරුමය, තායිලන්තය ආදී ගිණිකොණ දිග ආසියාතික රටවලද ‍ස්වාභාවිකව මෙම ශාකය වර්ධනය වේ. මුහුදු මට්ටමෙන් මැදි උස ප්‍රදේශ දක්වා මෙම ශාකයේ වර්ධනයට හිතකරම ප්‍රදේශ හමුවේ. විශේෂයෙන්ම ශ්‍රීලංකාවේ අනුරාධපුර, රිටිගල, සීගිරිය, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, රත්නපුර, මොනරාගල සහ හම්බන්තොට ආදි වු දිස්ත්‍රීක්ක වල මුහුදු මට්ටමේ සිට මීටර් 900 පමණ දක්වා වු ශේෂ කඳු, පර්වත සහ ලඳුකැලෑ සහිත පහතරට වියලි ප්‍රදේශ වල මෙම ශාකය වර්ධනය වන බව සොයාගෙන ඇත. ගොනුන් සහ මුවන් වැනි සතුන්ගේ ප්‍රියතම ආහාරයක් වන බිංකොහොඹ වඳවීමේ තර්ජනයට මුහුණ පෑමට එයද හේතුවක් වි ඇත. මිනිසුන්ලේ ඇසට මෙන්ම වන සතුන්ටද පහසුවෙන් ලඟා නොවිය හැකි භූමි ප්‍රදේශ වල මෙම ශාක සුරක්ෂිතව ඇත. ඉතා අධිකතර වෙළඳපොළ වටිනාකමක් ඇති නිසා වන ඖෂධ එකතු කරන්නන් විසින් බිංකොහොඹ ශාක වැඩි වශයෙන් ගලවා ගැනීමට උත්සුක වේ. ශාකයේ මූල පද්ධතිය වඩා වැඩි ඖෂධීය ගුණයෙන් යුතු වන නිසාත් අමතරව පංචාංගයම ඖෂධ සඳහා භාවිතා කිරීමට හැකියාව ඇති නිසාත් සම්පූර්ණ ශාක වශයෙන් බිංකොහොඹ ගලවා ගැනීම එහි යලි වර්ධනයට බාධාවකි. මෙම ශාකය දුර්ලභ වීමටත් ඒ නිසාම අධික වටිනාකමක් ලැබීමට හේතුව වන්නේද එයයි. සාපේක්ෂව ගත් කල වර්තමාන ආයුර්වේද ඖෂධ වෙළඳපොලේ වැඩිම එකක මිලක් ගෙවිය යුතු ඖෂධය වන්නේ බිංකො‍හොඹය.

ශාකය හඳුනා ගත හැකි ආකාරය

Munronia pumila Wightඅතු නොබෙදෙන සෙන්ටිමීටර පහළොවක් පමණ උපරිම උසක් දක්වා වර්ධනය වන කුඩා පඳුරු ශාකයකි. ශාකයේ පොත්ත සුදු පැහැතිය. පත්‍ර තරමක් ගනව ඇසිරි ඇත. කිරුලක් මෙනි. සංයුක්ත පත්‍රද ඇත. අග්‍රයේ පවතින තරමක් විශාල පත්‍රිකාවට අමතරව පත්‍රිකා යුගල එකක සිට හතර දක්වා ප්‍රමාණයක් පැවතිය හැක. පත්‍රිකා සම්පූර්ණයෙන්ම බෙඳුනු හෝ යන්තම් බෙදුනු ආකාර දැකිය හැකිය. පත්‍රිකා සංවෘත්තය. ඕවලාකාර හැඩයක් යුක්තය. අග්‍රය තීව්‍රය. පත්‍රිකා දෙපසම කේශධරය. යටි පැත්තේ සාපේක්ෂව වැඩිපුර බූව ඇත. සුදු පැහැති පුෂ්ප හටගනී. ඒවා සුවඳවත්ය. මල් පිපිම සිදුවන්නේ අප්‍රේල්, ජූලි සහ අගෝස්තු මාස වලදීය.

වෛද්‍ය විද්‍යාත්මක ගුණාගුණ

ආයුර්වේද ගුණකර්ම අනූව රසයෙන් තික්ත රස වන බිංකොහොඹ ලඝු හා රූක්ෂ ගුණ යුක්ත ඖෂධයකි. විපාකය කටුකය. වීර්යයෙන් ශීතය. ඒ නිසා දෝෂ කර්මක අනූව කඵ පිත්ත ශාමකයි. ව්‍රණ ශෝධක, කෘමිනාශක, අම්ලපිත්ත හර, ශක්තිජනක, අග්නිමාන්ද්‍යහර, අජීර්ණනාශක, දීපන, තෘෂ්ණනිග්‍රහණ, අමාපාචන, පිත්තහාරක, අනුලෝමන, කෘමිඝ්න, රක්තශෝධක, රක්තපිත්ත හර හා ශෝථහර, ස්තන්‍යශෝධක, කුෂ්ඨඝ්න හා ක්ෂිර වර්ධක ගුණ නිසා පහත රෝග අවස්ථා වලට ප්‍රත්‍යක්ෂය.
වාතජ්වර, ව්‍රණ, බහුමුත්‍රතාව, විෂමජ්වර, පුනරාවර්තක ජ්වර, මැලේරියා ජ්වර, පිත්තජ ජ්වර, මේහ, රත්පිත, ශෝථ, කාස, දාහ, රක්ත දෝෂ, කුෂ්ඨ, ගුල්ම, අධ්මාන, මලබද්ධ, වාතරක්ත, ස්තන්‍යදෝෂ යන ඒවාට භාවිතා කරනා යොග සඳහා බිංකොහොඹ ඒකීය වශයෙනුත් අමුද්‍රව්‍යයක් වශයෙනුත් එකතු කරනු ලැබේ. ජ්වර චිකිත්සාවේදී ඉතා ප්‍රසිද්ධ ඔෂධයක් වන සුදර්ශන චුර්ණයේ වැඩි වශයෙන් ඇත්තේ බිංකොහොඹය.

ආදායම් මාර්ගයක් ලෙස

වාණිජ වගාවක් ලෙස බිංකොහොඹ වගා කරන්නේ නම් එය ඉතාමත් ලාභදායි ආදායම් මාර්ගයක් වන බව වෙළඳපොලේ බිංකොහොඹ සඳහා ඇති වටිනාකම අනූව කිව හැකිය. බීජ මගින් බෝකර ගත හැකි ශාකයක් වන බැවින් වාණිජ වගාවක් ලෙස කිරීමට කැමති අයෙකුට තමන්ටම බීජ නිශ්පාදනය කර ගැනීමේ පහසුකම් ඇත. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ආ‍යුර්වේද දෙපාර්තමේන්තුවේ ඔසු උයන් හරහා මෙන්ම නාවින්න ආයුර්වේද පර්යේෂණායතන තුලින්ද ලබා ගත හැකිය. නැතහොත් එම ස්ථාන වල ඇති තවාන් වලින් තමන්ට අවශ්‍ය බිංකොහොඹ පැන මිලදි ගෙන වගාවක් ඇරඹිමටද හැකියාව ඇත. භාරතීයයන් තම නිවෙස් වල තුලසි නැතිනම් මදුරුතලා පැළයක් වැව්වා සේ දේශිය පුරාණ ගැමියන්ද තම නිවෙස් වල අනිවාර්යයෙන්ම බිංකොහොඹ පැළයක් වවා ගැනීමට කටයුතු කර තිබුනේ එමගින් නිවසට සේම එහි වෙසෙන්නන්ටද සියලුම රැකවරණ ලැබෙනා බවට වු විශ්වාසය නිසාවෙනි. ඉතාම වටිනා ඖෂධීය පැළයක් වන බිංකොහොඹ ශාකයක් සොයාගෙන තම ගෙවත්තේ රෝපණය කර ගැනිමට හැකිනම් එය ඔබටම අත්දැකිය හැකි බව අපගේ විශ්වාසයයි.