විලුඹ සන්ධිය නැතිනම් ගුල්ඵ සන්ධිය(Ankle Joint) ඇසුරු කොට හට ගන්නා සන්ධි පීඩාවන් විවිධ හේතු නිසා ඇතිවේ. ඒ අතරින් මෙම ලිපියෙන් සාකච්ඡා කරනු ලබන්නේ විලුඹට කිසිදු බාහිර අනතුරක් සිදු නොවී ඇති අවස්ථාවක ගුල්ඵ සන්ධියේ ඇතිවන තීව්‍ර වේදනා සහගත රෝගී අවස්ථාවක් පිළිබඳවය. මෙම රෝගී තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උදෑසනට විලුඹ බිම තැබීමට නොහැකි වන තරමේ අධික වේදනාවක් ඇතිවීමයි. රෝගීන් පවසන්නේ යටිපතුලේ අභ්‍යන්තරයට ඉඳිකටු වලින් අනින්නාක් බඳු දැනීමක් ඇති වන බවයි. මෙම රෝග තත්ත්වයෙන් පිඩා විදින අයවලුන් සියල්ලෝම උදැසනට අවදිවු පසු ඇඳෙන් බැස තම පළමු පියවර කිහිපය තබන්නේ ඇඳ විට්ටම අල්ලාගෙන හෝ නැතිනම් බිත්තිය අල්ලාගෙන හෝ නැතිනම් කොර ගසමින්ය. ආරම්භයේදී එසේ අපහසුවෙන් හෝ පියවර කිහිපයක් ඇවිද ගිය පසුව ඔවුන් පිඩා විදිනා ඇවිදිමේ අපහසුතාවය සහ යටිපතුලේ වේදනාව තාවකාලිකව සමනය වන නමුත් එයට නිසි ප්‍රතිකාරයක් සිදු නොකර සිටිමෙන් කාලයක් ගත වන විට දවස පුරාම ඇවිදිමේ අපහසුව සහ විලුඹ ප්‍රදේශයේ වේදනාව සහ ශෝථය පැවතිමේ අවස්ථාවට පැමිනේ. මෙම රෝගී තත්ත්වය සමාජයේ ඉතාම බහුල වශයෙන් දැක ගත හැකි තත්ත්වයක් වන අතර බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ පිරිමි පාර්ශවයටත් වඩා කාන්තා පාර්ශවයය අතර වීම විශේෂ ලක්ෂණයකි. එයිනුත් මැදි වයස් වල පසුවන කාන්තාවන් අතර මෙම තත්ත්වය සුලබය.
ප්‍රමුඛ ලක්ෂණය වශයෙන් ගුල්ඵ සන්ධිය(Ankle Joint) ආශ්‍රිතව තීව්‍ර වේදනාව සහ ඉදිමුම ඇතිවන රෝග අවස්ථාවන් කිහිපයක්ම ආයුර්වේදය තුල විස්තර කර ඇත. ප්‍රධානම අවස්ථාවක් වන්නේ ගුල්ඵ සන්ධිය නිර්මාණය කරනා ප්‍රධාන අස්ථි ත්‍රිත්වය වන ජංඝාස්ථිය(Tibia), අනුජංඝාස්ථිය(Fibula) සහ විලුඹ අස්ථිය(Calcaneus Bone) යන අස්ථි ත්‍රිත්වයේ ඕනෑම එකක ඇතිවන භග්නයන්(Fractures) සහ අවසන්ධි වීම්ය(Dislocations). විශේෂයෙන් මෙම අස්ථි වල ඇතිවන භග්න අවස්ථාවන් නිසා ගුල්ඵ සන්ධියේ තීව්‍ර වේදනාව ඇතිවේ. එසේම ශෝථය/ඉදිමුම ඇතිවේ. පාදය බිම තැබීමට නොහැකි වේ. මෙහිදි ජංඝාස්ථි සහ අනුජංඝාස්ථි මුද්ගරිකා ද්විත්වයේ (Medial & Lateral Malleolus) ඇතිවන භග්න නිසා ශෝථය(Swelling) සහ තීව්රඝ ශුලය(Pain) යටිපතුලට හෝ විලුඹ පිටුපසට විහිදීමට වඩා ගුල්ඵ සන්ධියේ දෙපසට විහිදේ. නමුත් විලුඹ අස්ථියේ (Calcaneus Bone) භග්නයකදී යටිපතුලේ සහ විලුඹ පිටුපස ශූලය සහ ශෝථය ඇතිවීම වැඩිය. මෙහිදී රෝගීයාගේ රෝග ඉතිහාසය විමසීමෙන් සහ ස්ථානික දර්ශණ පරික්ෂාව සහ ස්පර්ශ පරික්ෂාව ඇතුළු එක්ස් කිරණ ඡායාරූප පරික්ෂාවක් මගින් භග්නය තහවුරු කර ගත හැකි බැවින් එම අවස්ථාව පහසුවෙන් වෙන් කර ගත හැක.
ගුල්ඵ සන්ධියේ ශෝථය සහ ශූලය ඇතිවන දෙවැනි අවස්ථාව වන්නේ ආමවාත රෝගයේ වාතාදික අවස්ථාවේදීය. ආමවාත රෝගයේදී සිරුරේ විවිධ විශාල සන්ධි රෝගයෙන් පිඩිත වීම සිදුවේ. ආමවාත රෝගයේදී එක් සන්ධියක් පමණක් පිඩා වට පත් නොකෙරෙන අතර සන්ධියෙන් සන්ධියට ගමන් කරමින් සියළුම විශාල සන්ධි වල ශෝථවත් ශුලය ඇති කිරිම සිදුවේ. විශේෂම කරුණ වන්නේ මෙම අවස්ථාවේදී සිරුරේ අනෙකුත් සන්ධිස්ථාන වලටද පිඩා කරන අතරතුර ගුල්ඵ සන්ධියටද පිඩාව සිදු වීමයි. එබැවින් මෙම රෝගය වෙන්කර හදුනා ගැනීම පහසුය.
අනෙක් රෝග අවස්ථාව වන්නේ ගම්භිර වාත රක්තයයි. වාත රක්ත රෝගයේ අවස්ථා දෙකක් ආයුර්වේදයේ උගන්වයි. උත්ථාන වාත රක්ත සහ ගම්භිර වතරක්තය එම අවස්ථා දෙකකි. එයින් ගම්භීර වාත රක්තය නිසාද සන්ධි අස්ථි ආශ්‍රිතව රුජාව, ශෝථය, ගැටගැසීම, කුදුබව කොරබව වැනි ලක්ෂණ පෙන්වන බව මුල ග්‍රන්ථ වල දක්වා ඇත. බොහෝ දුරට විලුඹ යට/යටි පතුල සහ විලුඹ පිටුපස පිඩාවට පත්කරන රෝග අවස්ථව ගම්භිර වාත රක්තය නිසා ඇති වන්නක් බව කිව හැක.
එසේ වුවත් ආයුර්වේද වාත රෝග විස්තරය තුල කේවල වාත රෝගයක් ලෙස දක්වා ඇති වාත කණ්ඨ රෝගයද විලුඹ ශෝථය සහ ශූලය යන රෝග ලක්ෂණම පෙන්වයි. විලුඹ පත්ලේ කාවලිකාව(Plantar Fascia) ප්‍රදාහයට පත්වීම නිසා බටහිර වෛද්‍ය ක්‍රමය තුල Plantar fasciitis යනුවෙන් හඳුන්වන රෝග තත්ත්වය වාත කණ්ඨ යනුවෙන් ආයුර්වේදයේ හඳුන්වන රෝගයට ලක්ෂණානුරූපීව බොහෝ දුරට සමාන බව පෙනි යයි. එබැවින් අපගේ වැඩි අවධානය යොමු වන්නේ විලුඹ ආශ්‍රිතව ඇතිවන ගම්භිර වාතරක්ත රෝගය සහ වාතකණ්ඨ යන රෝග අවස්ථා දෙක සමගින් සමාජයේ ඇති මෙම කාලින සෞඛ්ය් ගැටළුව ගැන සාකච්ඡා කිරීමටයි.
මීට අමතරව වකුගඩු ආශ්‍රිත රෝග අවස්ථා වලදීද, දියවැඩියා රෝග අවස්ථා වලදීද, අක්මාවේ රෝග අවස්ථා වලදීද මෙවැනි සන්ධි වල ශෝථය ඇතිවන නමුත් උදෑසන අවදි වී සයනයෙන් බැස ඇවීදීමේ අපහසුතා ඇතිකරන්නේ නැති තරම්ය.
ඉතා බහුල වශයෙන් හමුවන විලුඹ වේදනාවෙන් පිඩා විදින රෝගින් සුවපත් කිරීම සඳහා මෙම රෝග අවස්ථා සියල්ලම නිවැරදිව වෙන් වෙන්ව හඳුනා ගැනිම කල හැකි විය යුතුය. මක් නිසාද නිශ්චිතවම සුවයක් රෝගියාට ගෙන දීමට නම් එකිනෙකට වෙනස් හේතු සහ සම්ප්‍රාප්ති ඇති මෙම රෝග සියල්ලටම අදාල එකිනෙකට වෙනස් වු සහ රෝගයට සහ රෝගියාට ගැලපෙන චිකිත්සාව කල යුතු බැවිනි.
අඩිය තබන විට විලුඹ ඇතුලින් උල් යමකින් අනින්නාක් බදු වේදනාවක් දැනෙන බව රෝගින් විසින් තම රෝගි තත්ත්වය විස්තර කිරීමට භාවිතා කරනා සුලභම උදාහරණයයි. එසේම විලුඹට බරදි ඇවිදිය නොහැකි බවත් උඩින් උඩින් ඇවිදිය යුතු බවත් තව දුරටත් අපහසුව විස්තර කිරීමේදී ඔවුන් විසින් පවසා සිටියි. රෝගින් සමග සිදුකරන සාකච්ඡාවේදී(වාචික පරික්ෂාව) අනාවරණය වන්නේ බොහෝ විට අදාල රෝගින්ගෙන් වැඩි ප්‍රතිශතයක් සිරුරට ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන අය බවයි. වැඩුනු පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ජල පරිමාව සිරුරට නොලැබීම හේතුවෙන් ඇතිවන ප්‍රතිඵලයක් ලෙස රුධිරයේ අයණ සාන්ද්‍රණය ඉහල යාම සිදුවිය හැක්කකි. එවිට එම රුධිරයේ ද්‍රාවිත වැඩිපුර අයණ සිරුරේ විවිධ ස්ථාන වල තැන්පත් වීම සිදුවන්නේ රුධිරයේ සමතුලිත තාවය පවත්වා ගෙන යාම සඳහාය. එය වැඩිපුරම සිදුවන්නේ අස්ථි සහ සන්ධි ආශ්‍රිතවය. අස්ථිභවනය විම් (Calcification) නිසා ඇතිවන මෙම තත්ත්වයන් බටහිර වෛද්‍ය විද්‍යාව තුල හඳුන්වන්නේ bone spurs ලෙසය. මෙවැනි අස්ථිභවනය වීම් විලුඹ සන්ධියේ යටිපතුලේ කවාලිකාවේද(planter fascia), අනුගුල්ඵ කණ්ඩරාවේ පහල කෙළවර සම්බන්ධ වන ස්ථානයේද(insertion of achilies tendon), විලුඹ ඇටයේද (calcaneus Bone) සිදුවිය හැක. විලුඹ වේදනාව ප්‍රමානවත් තරම් ජලය පානය නොකිරීම නිසා ඇතිවන අස්ථිභවනය විම හේතුවක් ලෙස දැක්වීය හැක්කේ එබැවිනි.
එසේම බොහෝ කාන්තාවන් විලාසිතාවන් ලෙස අඩි උස සපත්තු (High heels Shoes) පැලදීමට පුරුදුව සිටිති. නමුත් එම පාවහන් පැලදීම නිසා විලුඹට සහ අනුගුල්ඵ කණ්ඩරාවට අධිකව පිඩනයක් ඇති වේ. එහි ප්‍රතිඵලය වන්නේ අධිකව වෙහෙසට පත්වන අනුගුල්ඵ කණ්ඩරාව ප්‍රදාහයට පත්වීමයි. ඒ නිසාවෙන්ද විලුඹේ වේදනාව පසු කාලිනව ඇතිවේ. මිට අමතරව ආරක්ෂක අංශ වල සේවය කරනා තැනැත්තන්ටද පහසුවෙන් විලුඹ ආශ්‍රිත වේදනාව ඇතිවීමේ ප්‍රවනතාවයක් ඇත. නිරන්තර සරඹ පුහුණුවීම් අතර පාදයක් වේගයෙන් ඉහලට ඔසවා නැවතත් ශබ්ද නැගෙන පරිදි පොලවට පතිත කිරිම සරඹ වල අනිවාර්ය අංගයකි. එහිදි අධික වේගයෙන් විලුම පොලවේ වැදිම නිසා විලුඹ අස්ථිය සහ යටිපතුල් කවාලිකාව සහ අන්ගුල්ඵ කණ්ඩරා කෙලවරද යම් ආකාරයකට තුවාල වීමක්/ප්‍රදාහයකට ලක් වීමක් සිදුවේ. මෙවැනි ඉතිහාසයක් ඇති අය වලුන්ට පහසුවෙන් පසුකාලිනව විලුඹ ආශ්‍රිත තීව්‍ර වේදනාව (Achilles tendonitis & Plantar fasciitis) ඇතිවිමේ වැඩි සම්භාවිතාවක් ඇත. මීට අමතරව තරබාරු අයටද පහසුවෙන් විලුඹ වේදනාව ඇතිවිය හැකිය. සිරුරේ අධික බර දරා ගනිමින් ඇවිදිම හෝ අධික වේලාවක් සිටගෙන සිටිම නිසා අනුගුල්ප කණ්ඩරාව පහසුවෙන්ම වෙහෙසට පත්වීඹ සිදුවිය හැකිය. එවිටද විලුඹ ආශ්‍රිතව අනුගුල්ඵ කණ්ඩරාවේ කොලවරවල් වල ප්‍රදාහය ඇතිවේ.
කල යුත්තේ කුමක්ද?
අපට වැලඳෙන රෝගාබාධ වලින් ආරම්භයේදීම තමාගේ රෝගය පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්ව්ය යුතු රෝග අවස්ථාවන් යැයි අප විසින් වැරදි ලෙස අර්ථ ගන්වා ගෙන ඇති රෝග ඇත්තේ කිහිපයකි. එම රෝග තත්ත්ව වලින් පරිභාහිරව අප බොහෝ දෙනා අපගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට පටන් ගන්නේ යම් කිසි රෝග තත්ත්වයකින් සිරුර ආතුර වී එය තව දුරටත් උත්සන්න වී සිරුරට දරා ගැනීමට අපහසු වන තත්ත්වයට පත්වු පසුවය. නමුත් ආරම්භයේදී වැඩි අපහසුතාවයක් නොමැති(දරා ගත හැකි ප්‍රමාණයේ අපහසුතාවයක් ඇති) සියළුම රෝග අවස්ථාවන්ගෙන් සිරුරට යම්කිසි මොහොතක දැඩි බලපෑමක් ඇතිකරන බව අප කවුරුත් හොදින් මතකයේ තබා ගත යුතු කරුණකි. සමාජයේ බොහෝ දෙනා පිඩා විදින්නේ බරපතල රෝග වලින් නොව පහසුවෙන්ම වලක්වා ගත හැකි නැතිනම් සුව කර ගත හැකි රෝග වලින්ය. එම රෝග වලින් වැලකී නොසිටිම නිසා නැතිනම් එවා ආරම්භයේදීම සුව කර නොගැනීම නිසා පසු කාලීනව ඉතාම බරපතල ලෙස තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නා සේම සාමාජීය ප්‍රශ්ණ බවටද ඒවා පත්වේ. අප සාකච්ඡා කල විලුඹ ආශ්‍රිත රෝගයද එවන් ආකාරයේ රෝග තත්ත්වයකි. පහසුවෙන් වලක්වා ගත හැකි සේම පහසුවෙන්ම ආරම්භයේදීම සුව කර ගත හැකි මෙම රෝග තත්ත්වය නොසලකා හැරීම නිසා පසු කාලීනව බරපතල ලෙස සාමාජීය ජීවිතයට බාධා කරන තත්ත්වයට පත්වේ. මේ රෝගය සඳහා බටහිර සේම ආයුර්වේදය තුලත් සාර්ථක ප්‍රතිකාර ඇතිබව අවසානයේදි අප පවසා සිටිමු. නමුත් අප කෙතරම් ප්‍රතිකාර ලබා ගත්තද රෝග හේතුව වලක්වා නොගන්නා තුරාවට රෝගය නැවත ඇතිවීම වැලැක්වීය නොහැකිය.