ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
Carpal Tunnel Syndrome ශල්‍ය ප්‍රතිකාරයට විකල්පයක් තිබේද?

 “මැණික් කටු උමගේ සහලක්ෂණය” නම් රෝගයක් ගැන ඔබ දැනුවත්ද? නැතිනම් “විශ්වාචී/විශ්වාහි” වැනි නමකින් හඳුන්වන රෝගයක් ගැන දැනුවත්ද? එසේත් නැතිනම් Carpal Tunnel Syndrome යන ඉංග්‍රීසි නමකින් හඳුන්වන රෝග අවස්ථාවක් ගැන ‍දැනුවත්ද? අවසාන නාමය ගැන කෙසේවෙතත් පළමු නාමයන් දෙකෙන් හඳුන්වන රෝගයන් ගැන බොහෝ දෙනෙකු නිවැරදිවම නොදැන සිටින බව ස්ථීරය. නමුත් Carpal Tunnel Syndrome යන නමින් හඳුන්වන රෝග අවස්ථාවක් ගැන ‍යම් කිසි මට්ටමකින් හෝ සමාජය සංවේදී බව පෙනෙන්නට තිබේ. බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය තුල CTS නම් කෙටි නාමයෙන් හඳුනාගන්නා මෙම රෝගය බටහිර වෛද්‍ය ප්‍රතිකාර අංශයට මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර අංශයටද ඉතාම සුවිශේෂි රෝග අවස්ථාවක් බව කිව හැක. මෙම රෝගය සඳහා සිදුකරනු ලබන ප්‍රතිකාර පිළිබඳව සමාජයේ ඇති ප්‍රතිවිරුද්ධ ආකල්ප නිසාවෙන් එවැනි  සුවිශේෂි බවක් නිතැතින්ම මෙම රෝගය සඳහා ලැබී ඇත්තේ යැයි කිව හැක. විශේෂයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවේදී මෙම රෝග අවස්ථාව සඳහා සිදු කරන ශල්‍ය ප්‍රතිකාරයක් නිසා මෙම රෝගය පහසුවෙන් හඳුනා ගත හැක්කේය. නමුත් එම ප්‍රතිකාරය සම්බන්ධව සහේතුකව හෝ අහේතුකව සමාජය තුල ගොඩනැගී ඇති යම් කිසි සෘණාත්මක ආකල්පයක් නිසාවෙන් මෙම ප්‍රතිකාරය වෙත යොමු විමේ පැහැදිලි අකමැත්තක් ජනතාව තුලින් විද්‍යමාන වේ. එම සෘණාත්මක ආකල්පය කොතෙක් දුරට යුත්කියුක්ත දැයි නිශ්චිතවම විනිශ්චය කල නොහැකි වන්නේ එවැනි මනෝභාවයන් පුද්ගලානුබද්ධ පැන නගින ඒවා වන බැවිනි. එනමුත් මෙම  බටහිර රෝගාවස්ථාවට බොහෝ සමාන ලක්ෂණ පෙන්වන රෝග තත්ත්වයකට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය තුලින් කිසිදු උපද්‍රවයක් ඇති නොවන පරිදි සාර්ථකව ප්‍රතිකාර කරනු ලබන අවස්ථා දැක ගන්නට තිබේ. ආයුර්වේදයේ කේවල වාත රෝග කාණ්ඩයට අයත්  “විශ්වාචී/විශ්වාහි” නම් රෝගයේදී ඇති වන්නේද Carpal Tunnel Syndrome අවස්ථාවේදී පෙන්වන රෝග ලක්ෂණයන්ට බොහෝ සමානම රෝග ලක්ෂණයන් බව දක්වා ඇත. මෙම විශ්වාචී රෝග අවස්ථාව සඳහා අයුර්වේදයේ නිර්දේශ ප්‍රතිකාර වන්නේ අභ්‍යත්තර සහ ස්ථානිය ඖෂධ (ශල්‍ය ප්‍රතිකාර නොමැතිව)වන අතර  එමගින් ඉතා සාර්ථකව සම්පූර්ණ සුවයක් ලබා ගැනීමේ අවස්ථාව ඇති බව දක්වා ඇත. මෙම ලිපියේ අරමුණ වන්නේ ‍ඒ පිළිබඳව විධිමත් අවබෝධයක් පාඨකයන් වෙත ලබා දීමයි.

මැණික් කටු උමගේ සහලක්ෂණය පිළිබඳව සැකෙවින්……

මැණික් කටු උමගේ සහලක්ෂණය(Carpal Tunnel Syndrome) රෝගය ඇතිවීමට බලපාන ප්‍රාථමික හේතුව (Primary cause) අඥාත යැයි බටහිර වෛද්‍ය විද්‍යාත්මකව දෘෂ්ඨියට අනූව සඳහන් කර ඇත. එහි සරල අරුත නම් සෘජු හේතුවක් පැවසිය නොහාකිය යන්නයි. මෙවැනි අවස්ථාවන් හැඳින්වීමට බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරණ පාරිභාෂිත වචනය වන්නේ Idiopathic යන නාමයයි. ශරීරයේ ස්වයංසිද්ධව ඇතිවන ප්‍රතිශක්තිකරණයේ යම් වීකෘතිතාවයක් නිසා මෙවැනි රෝග ඇති වන්නේ යැයි යන මතයක් ඉදිරිපත් කරමින් මෙවැනි රෝග Auto immune diseases නම් රෝග කාණ්ඩයක් තුලට අන්තර්ගත කර ඇත. එසේ වුවත් සෘජු මුලික හේතුවක් නොපැවසුවත් මෙම රෝගය ඇතිවීම කෙරෙහි බලපෑ හැකි ද්විතීයික හේතු(secondary  cause) කිහිපයක්ද හඳුනා ගෙන ඇත.

  • මැණික් කටු සන්ධිය ආශ්‍රිත අස්ථි භග්න (Colles Factures)
  • අස්ථි අසාමාන්‍ය ලෙස ඝනකම් විමේ අවස්ථා වල (Acromegaly)
  • මැණික් කටු සන්ධිය ආශ්‍රිත මෘදු පටක වල ඇතිවන විකෘතිතා
  • විවිධ අසාත්මිකතා (Rheumatoid Arthritis, Gouts….etc)
  • අධික තරබාරුව (Obesity) 
  • දියවැඩියාව (DM)
  • ගර්භණිභාවය (Pregnancy)
  • ආර්ථවාහරණය (menopause)
  • Alcoholism
  • Hypothyroidism  වැනි තත්ත්වයන් එම හේතුන් ලෙස දැක්විය හැක.

බටහිර වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම අනූව මෙහිදී සිදුවන්නේ අත්ලට සහ අතේ ඇඟිලි වලට ස්නායු සැපයුම ලබා දෙන ප්‍රධාන ස්නායුවක් වන මධ්‍ය ප්‍රකෝෂ්ඨික/මධ්‍යස්ථ ස්නායුව (Median Nerve) මැණික් කටු සන්ධිය මතදී අසාමාන්‍ය තෙරපීමකට ලක්වීමයි. මැණීක් කටු සන්ධිය පෙදෙසෙහි අත්ල පැත්තෙහි(Anterior side)හරහට යන තන්තුමය බන්ධනියක් ඇත. මෙය සම්මිංජක ධෘතිකය (Flexor Retinoculam) නම් වේ. ඉදිරියෙන් තිබෙන්නාවූ සම්මිංජක ධෘතිකය හා පිටු පසින් තිබෙන්නාවූ මැණික් කටු අස්ථි (හස්ථ කූර්චෝප අස්ථි/Carpal Bones) නිසා එතැන උමගක් (Tunnel) සෑදේ. යටි බාහුවෙන් (Forearm) අත(hand) වෙත යන සමහර කණ්ඩරාවන් සහ මධ්‍ය ප්‍රකෝෂ්ඨික/ මධ්‍යස්ථ ස්නායුව මෙම උමග තුලින් ගමන් කරයි. කුමන හෝ හේතුවක් පාදක කරගෙන සම්මිංජක ධෘතිකය සමහර විට ඝණ වීම නිසා හෝ වෙන හේතුවක් නිසා උමග පටු වීම නිසා එය තුලින් දිව යන  මධ්‍යස්ථ ස්නායුව සම්පීඩක වේ.  මෙහිදී ඇඟිලි වල පුපුරු ගෑම, හිරි ගතිය, වේදනාව, රාත්‍රීයට අසාමාන්‍ය ලෙස වේදනාව වැඩි වීම, වේදනාව යටි බාහුව දිගේ ඉහලටද විහිදිම, මහපට ඇඟිල්ල මුල ඇති කුඩා පේශි (Thenar muscles)වැහැරීම  වැනි ලක්ෂණ පහල වේ. මෙම තත්ත්වයේදී යමක් තදින් අල්ලා ගැනීමට, අඹරා මිරිකිමට අපහසුතාවයක්ද ඇතිවේ. එසේම මැණීක් කටු සන්ධියේ චලන පරාසයද සිමා වේ.

පරිඝනක හෝ යතුරුලියන ක්‍රියා කරවන්නන් ලෙස වෘත්තී වල නිරත වන්නන්ද  වැඩි වේලාවක් එකදිගට ලිවීම් කටයුතු වල නිරත වෙන අයටද විශේෂයෙන්ම දෙඅත් වලට අධික කම්පනයක් සහ පීඩනයක් ඇතිකරවන බර යාන්ත්‍රික උපකරණ ක්‍රියාකරවන්නන්ද මෙම තත්ත්වයට වැඩි වශයෙන් ලෙස මුහුණ දෙන බව සොයා ගෙන ඇත.

බටහිර වෛද්‍ය ප්‍රතිකාර තුල මෙම රෝගය සඳහා ප්‍රධාන ප්‍රතිකාර අවස්ථා තුනක් දක්වා ඇත. මෙම රෝගයේ මුල් අවස්ථාවේදී මැණීක්කටු සන්ධියේ ඇතුලත තද ස්වභාවය මග හැරවීම සඳහා බාහිරයෙන් බලයක් යෙදීමට මැණික්කටු  සන්ධි ආවරණයක් (Wrist joint splinter) පැලදීමට නිර්දේශ කරනු ලැබේ. විශේෂයෙන් රාත්‍රී කාලයේදී මෙය පෑළඳ සිටීමට උපදෙස් දෙනු ලැබේ. ස්ථානිකව “ස්ටෙරෝයිඩ් ඖෂධ” එන්නත් කරනු ලැබීම අනෙක් ප්‍රතිකාරයයි. අවසන් ප්‍රතිකාරය වන්නේ ශල්‍ය ප්‍රතිකාරයකි. මැණික්කටු සන්ධියේ සිදුකරනු ලබන මෙම ශල්‍ය ප්‍රතිකාරයේදී සම්මිංජක ධෘතිකය විවෘත කොට එහි තද ගතිය අඩුවන ආකාරයට නැවත සකස් කිරීම සිදුකරනු ලැබේ.

මෙම රෝග තත්ත්වය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ මෙම ප්‍රතිකාර නිසාවෙනි. ස්ටෙරෝයිඩ නික්ෂේපනය කල ද ඉහත ශල්‍යකර්‍ම ප්‍රතිකාරය සිදු කලද නැවතත් පෙර අපහසුතාවය ඇතිවීමේ හැකියාව ඇත. එසේම ශල්‍ය ප්‍රතිකාර නිසා මැණික්කටු ස්නධිය මතුපිට කැලැල් ඇතිවීම සිදුවේ. එම කැලැල ඝනවීම නිසා(Scar Tenderness) පසුව චලනය කිරීමේ යම් අපහසුතාවයක් ඇතිවිය හැක. මෙම තත්ත්වය මෙම ප්‍රතිකාරයට මුහුණ දෙන රෝගීන්ගෙන් 40%කට පමණ ඇති විය හැකි තත්ත්වයක් බව පෙන්වා දී ඇත. එපමණක් නොව කැලැල් තුවාලය ආසාධනය වීමේ හැකියාවද පවති. බරපතලම තත්ත්වය වන්නේ ස්නායු වලට හානි විමේ ඇති අවධානමයි. විශේෂයෙන්ම මධ්‍යස්ථ ස්නායුවේ ශාකාවන් දෙකක් පහසුවෙන්ම හානිවීමේ අවස්ථාව ඇති බව තහවුරු කර ගෙන ඇත. අත්ලේ මතුපිටට ස්නායු සැපයුම දෙන මධ්‍යස්ථ ස්නායුවේ ශාඛාවක්(Palmar cutaneous branch of the median nerve)   සහ මහපටැඟිල්ල මුල පේශියට චාලක ස්නායු සැපයුම ලබා දෙන ශාඛාව (motor branch of the Thenar muscles) මෙසේ පහසුවෙන්ම කැපී යා හැකි බව දක්වා ඇත. කෙසේ නමුත් මෙම හානි වීම් වලකා ගත හැකි ආකාරයේ නවීන තාක්ෂණයක් බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වා දී ඇති නමුත් අවධානම සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස් නැති බව පෙනෙන්නේ පෙර සඳහන් කල අවස්ථාවන්ට පත්වූ රෝගීන් වර්ථා වන බැවිනි. මෙම රෝග අවස්ථාවට මුහුණ දෙන බොහෝ රෝගීන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විමේ අඩුවක් දක්නට ලැබෙන්නේ මෙම හේතුව නිසා විය හැක.

විකල්ප ප්‍රතිකාරයක් තිබේද?

විකල්ප ප්‍රතිකාරයක් ගැන සෙවීමට පෙර පළමුව විමසා බැලිය යුත්තේ බටහිර වෛද්‍ය විද්‍යාව අනූව විග්‍රහ කර ඇති මෙම රෝගයට සමාන රෝගයක් ගැන ආයුර්වේද මුලග්‍රන්ථ වල සඳහන්ව ඇතිද යන්නයි. එවැනි රෝගයක් හමුවන්නේ නම් ප්‍රතිකාරයක්ද හමුවන්නේය. විශේෂ අවස්ථා කිහිපයකදී හැර ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය විද්‍යාව යන වෛද්‍ය ක්‍රම‍ දෙකෙහිම රෝග ඇතිවීමට පදනම්වන හේතු(Causes) සහ රෝග ඇතිවන ආකාරය (Pathophysiology) වැනි  කොටස් සංසන්දනය කිරීමට යෑම පවා අසීරුය. හේතුව මෙම වෛද්‍ය ක්‍රම දෙකෙහි මුලධර්ම සහ න්‍යායන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වීමයි. එනිසා රෝග ඇතිවීමට පදනම්වන හේතු සහ රෝග ඇතිවන ආකාරය යන නිර්ණායකයන් පදනම් කර ගෙන මෙම ‍වෛද්‍ය ක්‍රම දෙක තුලින් විස්තර  කර ඇති එකම රෝගයක් ගැන සොයා ගැනීම කල නොහැකිය. යම් කිසි රෝගයක් සිරුරෙහි ඇතිවී එය බාහිරයට විද්‍යමාන වන අවස්ථාවේදි රෝගියාට පැවසීමට ඇත්තේ එකම ලක්ෂණ සමුහයකි. රෝගය ඇතිවීමේදි සිදුවන යාන්ත්‍රනය කුමන න්‍යායක් මත සිට විග්‍රහ කර ගත්තත් රෝගියාගෙන් පෙනෙන ලක්ෂණ හෝ ප්‍රකාශ වන හැගීම් පොදු වන බැවින් විවිධ වෛද්‍ය ක්‍රම තුල විවිධ නම් වලින් දක්වා ඇති එකම රෝග අවස්ථාව හෝ ආසන්න වශයෙන් සමාන රෝග අවස්ථාව සොයා ගැනීමට ඇති හොඳම සහ සුදුසුම පොදු සාධකය නැතිනම් යතුර වන්නේ ආසන්න වශයෙන් හෝ සමාන රෝග ලක්ෂණ පෙන්වන්නේ ඒ ඒ වෛද්‍ය ක්‍රමයන්හී කවර රෝග දැයි සොයා බැලීමයි.

එම පදනමේ සිට “මැණික් කටු උමගේ සහලක්ෂණය”( Carpal Tunnel Syndrome) යන බටහිර රෝගයේ රෝග ලක්ෂණ වලට සමාන ලක්ෂණ කියැවෙන ආයුර්වේද රෝග අවස්ථාවක් ගැන සෙවිමේදී ආයුර්වේද වාත රෝග නිදාන කොටස කෙරෙහි නිතැතින්ම අවධානය යොමුවේ. එහි කේවල වාත රෝග ගැන දක්වා ඇති පරිච්ඡේදයන් තුලින් එම ලක්ෂණ වලට සමාන හෝ ආසන්න වශයෙන් සමාන ලක්ෂණ පෙන්වන කේවල වාත රෝග අවස්ථා කිහිපයක් හමුවේ.  ආයුර්වේද වාත රෝග කාණ්ඩය යටතේ විස්තර කර ඇති අසූවක් කේවල වාත රෝග විශේෂයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ස්නායු පද්ධතියට සෘජුවම හානී විම නිසා හෝ නැතිනම් ස්නායු පද්ධතියේ යම් යම් කොටස් වලට හානිවීම නිසා ඇතිවන රෝග වලට ආසන්න වශයෙන් සමාන රෝග ලක්ෂණ පෙන්වන බව පොදු පිළිගැනීමකි. ඇත්ත වශයෙන්ම ආයුර්වේදයේ ත්‍රිදෝෂ සංකල්පයේ එන වාත දෝෂය නම් කොටසට  ස්නායු පද්ධතිය කිසි‍ ලෙසකින් වත් සමපාත කල නොහැකිය. ආයුර්වේදයේ වාත දෝෂය  යනු ඉතාම ගැඹුරු හා පුළුල්ව විස්තර කර ඇති කොටසකි. එසේම ඒ වූ කලි භෞතිකව මේය යැයි පෙන්වා, හදුන්වා දිය නොහැකි අභෞතික ප්‍රපංචයකි. ස්නායු පද්ධතිය එසේ නොව ස්පර්ශ කල හැකි දැකිය හැකි භෞතික පද්ධතියකි.  එම නිසා වාත රෝග වලට සමාන වන්නේ ස්නායු රෝග යැයි එක එල්ලේ පැවසීම සියයට සියයක් නිවැරදි නැත. කෙසේ නමුත්  රෝගියාගේ සිරුර විසින් පෙන්නුම් කරන බොහෝ රෝග ලක්ෂණ නම් වාතජ රෝග අවස්ථාවේදී සහ ස්නායු රෝග අවස්ථා වලදී එකහා සමානය.

විශ්වාචී/විශ්වාහි ද?

විශ්වාචී නොහොත් විශ්වාහී වාත රෝගය

තලං ප්‍රත්‍යංගුලිනාං යා – කණ්ඩරා බාහුපෘෂ්ඨතඃ
බාහ්චෝඃ කර්‍මක්ෂයකාරි – විශ්වාචී චේති සෝච්‍යතේ”
(සුශ්‍රැත නිදාන 1 අධ්‍යාය)

බාහුවේ යට පැත්තේ පටන් ඇඟිලි සහ පිට පැත්ත වෙත ගියාවූ ශාකාවන්ගෙන් සැදි යම් වාතනාඩී නහරයක් විකෘත වී බාහු දෙකෙහි සංකෝච ප්‍රසාරාදී පේශි කර්මයන් ක්ෂය කොට ලයිද එයට විශ්වාචී යැයි කියනු ලැබේ. විශ්වාචි රෝග අවස්ථාව ගැන තව දුරටත් විස්තර විමර්ශනයේදී බාහු පෘෂ්ඨයෙන් ඇරඹි හස්ත තලය හිමි කොට ගමන් ගත් ශාකා සහිත බහිර්බාහුක නාඩි නහරයන්හි වන වාතය (තන්ත්‍ර ගත වාතය) අදාල හේතු වලින් කුපිතව මුළු බාහුවම පිඩාවට පත් කොට හෝ නොකොට බාහුවෙන් සිදුවන මෙහෙය ක්ෂය කිරීම විශ්වාචී නම් වේ. මෙහිදි මධ්‍යප්‍රකෝෂ්ඨික, අන්තඃ ප්‍රකෝෂ්ඨික යන නාඩි නහරයන්හී වුවද වාතය කිපීමට හේතුවක් යෙදුන හොත් විශ්වාචීය පැන නැ‍ඟෙනු ඇත. ඒ අනූව තුන් ආකාරයක විශ්වාචී ප්‍රභේදයන් දැක්විය හැක.

  1.  බහිර් ප්‍රකෝෂ්ඨික නාඩිගත ජනිත විශ්වාචි
  2. අන්තඃ ප්‍රකෝෂ්ඨික නාඩිගත ජනිත විශ්වාචි
  3. බහිරාන්තඃ ප්‍රකෝෂ්ඨික නාඩිගත ජනිත විශ්වාචි

මෙම විශ්වාචි ප්‍රභේද තුනෙහි ඇති විශේෂත්වය වන්නේ පිළීවෙලින් මෙම අවස්ථා තුනෙහිදී වැඩි බලපෑමක් වන්නේ උරහිස් සන්ධියට (Shoulder), වැලමිට (කඵොණි) සන්ධියට (Elbow) හා ඔරලෝසු/මැණික්කටු සන්ධියට (Wrist) යන ස්ථානයන්ටය. බටහිර වෛද්‍ය විද්‍යාවේ හඳුන්වා දී ඇති frozen Shoulder, Tennis Elbow සහ CTS යන‍ රෝගාවස්ථා තුන මෙම රෝගාවස්ථා තුනට යම් ආකාරයෙන් සමාන යැයි සිතිය හැක(නමුත් එය එසේම යැයි පැවසිම සුදුසු නොවේ). එසේනම්  මැණික් කටු උමගේ සහලක්ෂණය/Tunnel Syndrome රෝග අවස්ථාවට සමාන රෝග ලක්ෂණ පෙන්වන්නේ බහිරාන්තඃ ප්‍රකෝෂ්ඨික නාඩිගත ජනිත විශ්වාචි නම් විශ්වාචි ප්‍රභේද අවස්ථාවේදී බව යම් නිගමනයකට පැමිණිය හැකිය.   

විශ්වාචි අවස්ථාවට ප්‍රතිකාර තිබේද?

දැන් අපට අපගේ ප්‍රධාන ගැටළුවට පිලිතුරක් සොයා ගැනීමට අවස්ථාව ලැබී ඇත. විශ්වාචී රෝග අවස්ථාවේදී සම්පූර්ණ සුවය සඳහා කල යුතු ඖෂධ ප්‍රතිකාර සහ ප්‍රතිකාර මුලධර්ම ගැන විස්තර ආයුර්වේද මූල ග්‍රන්ථ වල දක්වා ඇත. ඒ සඳහා කේවල වාත රෝග චිකිත්සාවන් සිදුකිරීමට නිර්දේශිතය. එහිදි ප්‍රතිකාර මුලධර්ම වලට ගැලපෙන අභ්‍යන්තර සහ බාහිර ඖෂධ වර්ග දක්වා ඇත. මෙහිදි විශේෂයෙන් සඳහන් කල යුතු වන්නේ කිසිදු ශල්‍ය ප්‍රතිකාරයක් මේ සඳහා ආයුර්වේදයේ දක්වා නොමැති බවයි. ශල්‍ය ප්‍රතිකාර සිදු කල යුතු අවැසි රෝග සඳහා ශල්‍ය ප්‍රතිකාර ආයුර්වේදයේ දක්වා ඇති මුත් විශ්වාචී සඳහා ශල්‍ය ප්‍රතිකාර දක්වා නැත. දක්වා ඇත්තේ තෛල අභ්‍යංග, ස්වේදන කර්‍ම, මර්දන, නස්‍ය ප්‍රතිකාර, උපනාහ ප්‍රතිකාර(ඖෂධීය පත්තු/මැල්ලුම්) සහ අභ්‍යන්තර ඖෂධ ලබා දිම වැනි ප්‍රතිකාර මුලධර්මයි. මීට අමතරව නාඩි බල වැඩිකරණ ආහාර සහ පාන වර්ග අමතරව ‍රෝගීයට දිමට නිර්දේශ කර ඇත. එයින් පැවසෙන්නේ මෙම රෝග අවස්ථා ශල්‍ය ප්‍රතිකාර වෙත යොමු ‍කල යුතු තරම් රෝගයක් නොවන බවයි. එසේම එයින් හැඟවෙන අනෙක් වැදගත් කරුණ වන්නේ බාහිර සහ අභ්‍යන්තර ඖෂධ මගින් විශ්වාචී සුව කල හැති බව ප්‍රායෝගිකව ඔප්පූ වී ඇතිය යන්නයි. වර්තමානයේද දේශිය වශයෙන් Carpal Tunnel Syndrome යැයි බටහිර වෛද්‍ය ක්‍රමය තුලින් නිගමනය කොට ස්ටෙරොයිඩ නික්ෂේපණ ප්‍රතිකාර හෝ ශල්‍ය ප්‍රතිකාර නිර්දේශ වී සිටිනා රෝගින් ආයුර්වේද ප්‍රතිකාර‍ වෙත යොමු වී එම ප්‍රතිකාර මගින් සම්පූර්ණ සුවයක් කෙටි කාලයක් තුලදී ලබා ගන්නා අවස්ථා අනන්තවත් ඇත. එසේම එම ආයුර්වේද ප්‍රතිකාර ගැන සමාජය තුල පැහැදිලි වටිනාකමක් ගෞරවයක් ඇති බව එම රෝගීන් ඉතා කැමැත්තෙන් සහ විශ්වාසයෙන් ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමු වීම තුලින්ම විද්‍යමාන වේ.