මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණයට පෙර ඉන්දියාවේ බෞද්ධ රෝහල් තිබුණි. “රෝහල් සංකල්පය ගැන ගෞතම බුදුන් වහන්සේට සහ උන් වහන්සේගේ අනුගාමිකයන්ට අප ණය ගැති වෙමු”(බ්‍රි.වෛ.ස 1928) ඇසිරියාව, බැබිලන්, මුල් කාලායේ ඊජිප්තුවේද පැවති ඔවුන්ගේ වෛද්‍යක්‍රම ආයුර්වේදයට වඩා පැරණි වුවත් එම රටවල රොහල් පැවති බවට කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් හෝ ලිඛිත සාක්ෂි හමු නොවේ. එපමණක් නොව චීනයේද රෝහල් ගොඩනැගි තිබුනේ නැත. බුරුමය සියම සහ ලංකාවේ සිට සිරියාව පර්සියාව සහ ඊජිප්තුව සහ රුසියාව හැර මුළු යුරෝපය දක්වා වන ඈත රටවලට පැතිර ගියේය. ….ලංකාවේ සහ බුරුමයේ ද රෝහල් සැම තැනම පැතිර පැවති බව පෙනේ.” (බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍ය සඟරාව 1928)
මෙම ලිපියේ අරමුණ වන්නේ ලොක ඉතිහාසය තුල සෞඛ්‍ය සේවා සපයන ආයතන ගත්විට පැරණිතම ආයතන බිහිවු නොඑසේනම් විධිමත් රෝහල් ගොඩනැගිමේ ආරම්භය සිදුවු ස්ථාන පිළිබඳව පාඨක ඔබව දැනුවත් කිරිමයි. ඒ අනුව මිහින්තලා රෝහල, මැදිරිගිරි රෝහල සහ පොළොන්නරු රෝහල පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ඇත.
ලොව පැරණිතම විධිමත් රෝහල මිහින්තලා කඳු පාමුල රෝහලයි.(පහත යොමුව ඔස්සේ යන්න)
http://swasthaarana.com/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%ab%e0%b7%92%e0%b6%ad%e0%b6%b8-%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd/
මැදිරිගිරිය රෝහල
චිර ප්‍රසිද්ධ මැදිරිගිරිය වටදාගෙයට මදක් දුරින් (මීටර් 500) පුරා විද්‍යා කැනීම් වලින් මතු කර ගන්නා ලද උස් ගල් කණු සහිත ගොඩනැගිල්ලක නටබුන් පුරාණ මැදිරිගිරිය රෝහල බව හඳුනා ගෙන ඇත. ඓතිහාසික සාක්ෂි ලෙස රෝහලක් පැවති බවට වන ශිලා ලේඛනමය සාක්ෂිද වේ. තවද මැදිරිගිරිය වටදාගෙයට නුදුරින්ම බෙහෙත් ඔරුවක් සොයා ගෙන ඇත. මේ පිළිබඳව පළමු අනාවරණයන් සිදු කර ඇත්තේ 1939 දි පමණ එවකට පුරාවිද්‍යා කොමසාරිස් වු ඒ.එච්. ලොන්ග්හර්ස්ට් මහතා විසිනි. එතුමා මේ පිළිබඳව සිදුකල විමර්ශන වාර්ථාව ලේඛනයක් ලෙස ඇත. ( පුරාවිද්‍යා කොමසාරිස් වාර්ෂික වාර්ථාව 1939)
හයවැනි මහින්ද රජුගේ සෙල් ලිපිය.
1907 දී මැදිරිගිරියේ ගල් ලැල්ලක වු ශිලා ලේඛනයක් සොයා ගන්නා අතර රෝහල් පරිපාලනය පිළිබඳ කරුණු රැසක් අන්තර්ගත ශිලා ලේඛනයක් ලෙස ඩී.එම් ද ඉසෙඩ් වික්‍රමසිංහ මහතා ලංකාවේ ශිලා ලේඛන 1912 වාර්ථාව තුල දක්වා ඇත. ඔහුට එම ශිලා ලේඛනය සම්පූර්ණයෙන්ම කියැවීමට නොමැකි වි ඇති අතර ඔහු ඉහත වාර්ථාවේ මෙසේ සඳහන් කර ඇත.
“ මෙම වාර්ථා පහසුවෙන් කියවිය හැකිව තිබුනේ නම් ලංකාවේ පුරාවෘත්ත වල නිතර, එහෙත් සුළු වශයෙන් සඳහන් වන මහජන රෝහල් පිළිබඳ වැදගත් තොරතුරු නිසැකයෙන්ම ලැබිය හැකිව තිබුණ.”
නමුත් පසු කාලිනව මහාචාර්ය සෙනරත් පරණවිතාරණයන් විසින් ඉහත සෙල් ලිපිය සම්පුර්ණයෙන්ම කියවා ඇත. (ලං.ශි.ලේ. 1973) මෙම ශිලා ලේඛනය ක්‍රි ව 1187 දී පමණ රජ කල හයවැනි මහින්ද රජුගේ රාජ්‍ය සමයේදී ලේඛන ගත වු බව තහවුරු කර ඇත.
මෙම ශිලා ලේඛනය තුල,
රෝහල පවත්වා ගෙන යාමේ කාර්යය විශේෂිත ආයතනයකට පවරා ඇත. මෙය නූතන රෝහල් කාර්යාලයකට සමාන කර ඇත. මෙම කාර්යාල නිලධාරින් රෝහලේ රෝගීන් රැක බලා ගන්නා සේවකයින්ගෙන් වෙනස් වු අය වුහ. කාර්යාලයට අනුයුක්ත අය ලවා වැඩ කරවා ගැනීඹ රෝහල් සේවකයින්ට තහනම් කර ඇත.
රජු විසින් රෝහලට පරිත්‍යාග කරන ලද ඉඩම් සහ ගම්වල ආදායමෙන් රෝහල නඩත්තු කරන ලදි. එම ගෙවීම් කරන ලද්දේ ද්‍රව්‍ය වලින්ද නැතහොත් මුදලින්ද යන වග සඳහන් කර නැත.
ඉහත සෙල් ලිපියේ සඳහන් තවත් වැදගත් කොටසක් වන්නේ රෝහලේ දේපල එහි සේවකයින් විසින් අයුතු ලෙස අත්කර ගැනීම වලකාලීම සඳහා පනවා ඇති නීතිය. සිරිත් පිරිදි ගොවීන්ගෙන් ගනු ලබන ‘ මන්දාරන්’ (ගාස්තුව ) අයකර ගැනීමේදී රෝහල් නිලධාරියෙකු වෙතින් විෂමාචාරයක් සිදු වුව හොත් වෛද්‍යවරු අනෙකුත් නිලධාරින් සමග රැස්වී පරික්ෂණ පවත්වා වරද කල නිලධාරියාට නිසි දරඬු (දඩුවම්) නියම කිරිම සඳහා වරද ඔප්පු කරනු ලැබේ. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලයට විරුද්ධව ඉදිරිපත් වන පැමිණිලි විභාග කිරිමේ වගකීම වෛද්‍යවරුන්ට පැවරී ඇත.
සේවයෙන් පහකිරිම, රෝහල පවත්වා ගෙන යාමේදී සිදු කරන වැරදි වලට ප්‍රධාන දඬුවම් වශයෙන් සෙල් ලිපියෙහි සඳහන් වෙයි.
රජ මාලිගයේ අධිපතිවරු, අවුරුද්දෙන් අවුරුද්දට රෝහලේ කටයුතු විමර්ෂණය කිරීමට පැමිණිමක් ගැන සඳහන් අතර වර්ථමානයේ සිදුවන වාර්ෂික විගණන කාර්යයට එය සමාන වේ.
“ රෝහල් සිමාවෙන් පිටත රෝහලට අයත් ස්ථාන වල ගෙවල්වල බදු කරුවන්ට මත්පැන් බීමට, සංගීත භාණ්ඩ වාදනය කිරිමට, නැටිමට සහ එම ස්වභාවයේ වෙනත් ක්‍රියා වල යෙදීමට අවසර දිය හැකිය.”
යනුවෙන් ශිලා ලිපියේ සඳහන් කරුණු වලින් තහවුරු වන්නේ රෝගින්ගේ සහ රෝහලේ කටයුතු වලට බලපෑමක් විම පිළිබඳව එදවස පැවති අවබෝධයයි.
පස්වන කාශ්‍යප රජුගේ සෙල් ලිපිය
මැදැරිගිරිය වටදා ගෙය ආසන්නයෙන්ම සොයා ගන්නා ලද තවත් සෙල් ලිපියකි. මෙය සේයා ගන්නේ 1897 දි එච්.සි.පි බෙල් මහතා විසිනි. මෙය පස්වන කාශ්‍යප රජු (ක්‍රි ව 914-923) රාජ්‍ය සමයේදි සකස් කරන ලද්දක් බව තහවුරු කර ගෙන ඇත. එය පෙර සඳහන් සෙල් ලිපියට වඩා පැරණි ලේඛනයකි. එසේ වුවත් එය වඩා හොඳින් සංරක්ෂණය වි ඇත.එහි සඳහන්ව ඇත්තේ රෝහල ආසන්නයේ පිහිටි ගමකට දෙන ලද ඇතැම් වරප්‍රසාද පිළිබඳවය.
තවද ආශ්‍රමයකට අනුයුක්ත යැයි සිතිය හැකි පුරාණ රෝහල් වල ගිහියන්ට ප්‍රතිකාර ගැනිමේ අවස්ථා පැවතියද යන්න විවාදාපන්න කරුණකි. එහෙත් මෙම සෙල් ලිපියෙහි සඳහන් පහත සඳහන තුල සාමාන්‍ය මහජනතාවටද මෙම රෝහල් වල සේවය විවෘත ව පැවති බවට සාක්ෂියක් දරයි.
“ රෝහලේ නේවාසිකයින් ගමට ඇතුළු වි ප්‍රයෝජන ගෙන, වැරදි…..නොකල යුතුය.”
එම පාඨයයි. වචන කිහියක් කියවිමට අපහසුවි තිබුනද පොදු අර්ථය ඉහත කරුණ බව පැහැදිලිය.
රෝහලේ නොවාසිකයින්ට සපයන ආහාර ගැනද සඳහනක් මෙම සෙල් ලිපියේ ඇත.
“ මල එළුවන් සහ කුකුලන් රෝහලට සැපයිය යුතු බව”
පස්වන කාශ්‍යප සෙල්ලිපියේ සඳහන්ය.
තවත් සෙල් ලිපියක සඳහන්ව ඇත්තේ “ජලජ ජීවින්, ආරක්ෂිත ස්ථානයක වෙසෙන මසුන් අල්ලන ලද පුද්ගලයින් අත් අඩංගුවට ගත් විට වෛද්‍ය අධිකාරින් එම ස්ථානයට ගොස් වැරදිකරුවන්ට වැව් වල වැඩ කිරීමට නියම කරනු ලැබේ. රෝහලේ ප්‍රයෝජනය සඳහා මසුන් රාජසන්තක කල යුතුය” යන්නයි. එහි අදහස එම මත්ස්‍ය ආහාර රෝහලේ නේවාසිකයින්ගේ ආහාර අවශ්‍යතා සඳහා භාවිතා කර ඇති බවයි.
දෙවැනි උදය රජුගේ සෙල් ලිපිය
ක්‍රි ව 885- 896 දක්වා රජ කල උදය රජු විසින් ප්‍රතිශ්ඨාපනය කරල ලදැයි සැලකෙන මෙම සෙල් ලිපිය සොයා ගන්නේ වර්ෂ 1947 දිය. දුර බැහැර මැදිරිගිරියේ පිහිටි රෝහල පිළිබඳව මෙම සෙල් ලිපියේ කරුණු ඇති බව තහවුරු කර ගෙන ඇත. (සී.ඊ. ගොඩකුඹුර ලං.ශි. 1965)
රෝහලට ඉඩම් ලබා දිම පිළිබඳව එහි සඳහන්ය.
‘මැදිරිගිරිය රෝහල් භුමියේ සිමා ඇතුලත් වන සේ අප විසින් ගල් පිහිටුවනු ලැබ ඇත.
“ඉඩම් ලාභියා අනුරාධපුර වසන උසස් නිලධාරියකු නොවිය. රජුගේ අනුග්‍රහය ලැබු රාජ්‍ය සේවකයෙකු නොවිය. නගරයේ සහ ඒ අවට විශාල වශයෙන් පැවති පුරාණ ආගමික ස්ථානයක් පවා නොවිය. එහෙත් අගනුවරින් බොහෝ දුරින් පිහිටි ආශ්‍රමයකට සම්බන්ධ වු රෝගීන් සුවපත් කිරීමට ඇප කැප වු ආයතනයක් වීම වැදගත් සිද්ධියකියි පරණවිතාරණ සඳහන් කරයි. රාජ්‍ය අනුග්‍රහය ලැබීම සඳහා මැදිරිගිරිය රෝහල එවකට උසස් කීර්තියක් උසුලන්නට ඇත.” (පු.වි.කො.වා පරණවිතාරණ 1947)
පොළොන්නරුව රෝහල
පොළොන්නරුව රාජධානිය මෙරට රජවංශයේ දෙවන නැවතුම බවට පත්වන්නේ ක්‍රිව 1017 දි පමණ අනුරාධපුර රාජධානියේ අවසන් පාළකයා වන දුර්වල පස් වන මිහිදු රජ සමයේදි සොලින් විසින් අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කොට බලය අල්ලා ගැනීමත් සමගමය.
අනුරාධපුරයේ සේම පොළොන්නරුවේදීද ආශ්‍රමික රෝහල් ගොඩ නැගී ඇත.1982 වර්ෂයේදී රන්කොත් වෙහෙර සමීපයේ සිදු කර ඇති කැනීම් වලදී ආශ්‍රමික රෝහලක යැයි සැක කල හැකි ගොඩනැගිල්ලක නටඹුන් හමුවී ඇත.
මෙම ගොඩනැගීල්ල තාප්පයකින් වටකර සාදා ඇත. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගත් හොඳම තත්ත්වයේ බෙහෙත් ඔරුව හමුවන්නේ මෙම භූමියේ කරන ලද කැනීම් වලදීය. (තෙවැනි පුරාවිද්‍යා කැණිම් වාර්ථාව පී.එල්. ප්‍රේමතිලක)
මෙම ගොඩනැගිල්ලේ ඇති විශේෂත්වය වන්නේ එය මිහින්තලා රෝහල් ගෘහ නිර්මාණ ශිල්පයට බෙහෙවින් සමාන විමයි. තවද එම ගොඩනැගිල්ල අනුරාධපුර සහ මැදිරිගිරි රෝහල් වලටද සමනතා ඇත.
ගෘහ සැකැස්ම
මැද මිදුලට මිහුනලා ඇති කුටි සහිත ආයත චතුරස්‍රාකාර ගොඩනැගිල්ලකින් සමන්විතය.මෙම කුටි ගිලන් භික්ෂුන්ට නේවාසික පහසුකම් ලබා දීමට භාවිතා කර ඇත.
ඉන් පසු මෙම පරිහ්‍රය විශාල කරමින් තවත් මැද මුදුලක් සහිත දෙවැනි චතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් ඇත. දෙවැනි කොටස දන් ශාලාවකින්, වැසිකිලියකින් සහ බෙහෙත් ඔරුව තැබීමට සැකසු කාමරයකින් සමන්විතය. විශේෂත්වය වන්නේ මිහින්තලා රෝහලේ බෙහෙත් ඔරුව පිහිටා තිබුනේ නේවාසිකයින් සඳහා කිටි සහිත ප්‍රධාන පරිශ්‍රයේ වුවත් මෙහි පිටුපස පරිශ්‍රයට ගෙන තිබිමයි. පොදුවේ බුද්ධ වන්දනාව සඳහා මැද මිදුලේ බුදු මැදුරක් තිබෙන්නට ඇත.
ගොඩනැගිල්ලේ ප්‍රමාණය සැලකීමේදී පළමු කොටස නැතිනම් ප්‍රධාන ගෘහය මිටර් 25.75 දිග සහ පළල 16.65 පමණ වන අතර දෙවන ගෘහය මිටර් 19.1 සහ 16.65 දිගකින් සහ පළලකින් යුක්තව සකසා ඇත.
භූමියේ සිදු කරන ලද කැනීම් වලදී බෙහෙත් ඇඹරුම් ගලක්, ලොහමය කතුරක්, වකුටු වු තඹ උපකරණයක් (ශල්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කල හැකි), බෙහෙත් ගබඩා කර තබා ගත හැකි පිඟන් මැට්ටෙන් සැදු බරණි හමුවි ඇත.
පොළොන්නරු යුගයේ කිර්තිමත්ම රජ වශයෙන් සැලකෙන්නේ පළමුවැනි මහා පරාක්‍රමබාහු රජතුමාය.එතුමා විසින් ආලාහන පිරිවෙන කරවු බවත් වෙදකමටද අනුග්‍රහය දැක්වු රජකෙනෙකු වශයෙන් රෝහල කරවීමට එතුමන් විසින් සිදු කැරන්නට ඇති බව අනුමාන කල හැක.
රජයේ අනුග්‍රහයෙන් තොරව ඉදිකරන ලද ප්‍රථම රෝහල…?
පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් රෝහලට අමතරව තවත් එක් රෝහලක් පොළොන්නරු නගර සීමාව තුල තිබු බවට ශිලා ලේඛන සාක්ෂි දරයි. පොළොන්නරු තොපා වැව බැම්මෙන් සොයා ගත් නිශ්ශංක මල්ල රජුගේ රාජ සභා ලිපියක ඉඩම් හිමියෙකු රෝහලකට බදු ගෙවිමේ කොන්දේසිය මත ඔහුට දෙන ලද ඇතැම් බදු නිදහස් කිරීම් ගැන සඳහන් වේ.
“ පොළියක් ලැබෙන පරිදි එම ඉඩම බදු දිය යුතුය. දෝති වලක්නා විසින් අරඹන ලද රෝහලට බදු වශයෙන් වසරක් හැර වසරක් වියලි ඉඟුරු පෑලක්….දිය යුතුය. වියලි ඉඟුරු දීමට අපහසු නම් රත්රන් හුණක්…දිය යුතුය” (එස් පරණවිතාරණ ලං. ශි 1934)
පරණවිතාරණයන්ගේ මතය වි ඇත්තේ ඉඩම් හිමියන් විසින් ආගමික හෝ පුන්‍යායතන වලට යම් බද්දක් ගෙවීම මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෙයක්ව පැවතී බවයි. ඉහත ශිලා ලේඛන පාඨය තුලින් දෝති නැමති ඉඩම් හිමියාට රෝහල පිහිටුවීම වෙනුවෙන් එය නඩත්තු කර පවත්වා ගෙන යාම සඳහා රජය සක්‍රිය වශයෙන් සහන දුන් බව තහවුරු වේ.
ගෙවීම් මාධ්‍ය ලෙස දක්වා ඇත්තේ ඉඟුරුය. ඉඟුරු දේශිය සහ ආයුර්වේද වෛද්‍ය කර්මයේදි භාවිතා කරනු ලබන ප්‍රධාන ඖෂධයකි. එය රෝහලට අතිශයින්ම වටිනා සහ පිළිගත හැකි ද්‍රව්‍යක් බැවින් මෙය ඉතාම නිරවුල් ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති තුල අන්තර්ගත වී තිබෙන්නට ඇති බව පිළිගන්නට සිදු වේ. ඉහත සටහන පමණක් මෙරට ඉතිහාසය තුල සඳහන්ව ඇත්තේ සාමාන්‍ය පුද්ගලයෙකු රෝහලක් ඉදිකිරීමට කටයුතු කල බවට සාක්ෂි ලෙසය. වෙනත් අවස්ථාවක් ගැන මහාවංශයේ පවා සඳහන්ව නැත. ඒ අනුව මෙරට පළමු සහ මධ්‍ය කාලීන යුගයේ ලංකාවේ රජයේ පූර්ණ අනුග්‍රහය රහිතව පුද්ගලික මට්ටමින් සෞඛ්‍ය සේවා සපයන ආයතනයක් ඇරඹි පුද්ගලයා වශයෙන් පොළොන්නරු යුගයේ විසු දොති වලක්නා නැමති ඉඩම් හිමියා හඳුන්වා දිය හැකිය.
විශේෂත්වය වන්නේ මහාවංශයේ මෙම සුවිශේෂ වෛද්‍යායතනය ගැන සඳහන් නොවිමයි. නමුත් මැදිරිගිරිය රෝහල ගැන සඳහන් සෙල් ලිපි තුනෙන් වඩාත්ම පැරණි සෙල් ලිපිය දෙවැනි උදය රජු සමයේ ශිලාගත වු සෙල් ලිපියයි. ඒ අනුව මෙම රෝහල ක්‍රි ව නමවැනි සියවස තුලදි පවා ක්‍රියාත්මක වු රෝහලකි. මහාවංශයේ සඳහන් වන දෙවන සේන රජු සමයේ පැවති මිහින්තලා රෝහලට සමකාලින හෝ ඉන් පසුව ඇති වුවකි. ඒ අනුව මැදිරිගිරිය රෝහල යනු මෙරට දෙවැනි පැරණිතම රෝහල සෙල සැලකිය හැකිය.
තොරතුරු ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍ර ඉතිහාසය (මුල් යුගයේ සිට 1948 දක්වා) වෛද්‍ය සි.ජී ඌරාගොඩඡායාරූප අන්තර්ජාලය ඇසුරිණි.