කොළඹ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ හෝමාගම දෙසට ගමන් කරන විට නාවින්න මංසන්ධිය පසුකරමින් කිලෝමීටර් එකක් පමණ පැමිනෙනවාත් සමගම හමුවන වත්තේගෙදර බෝධිය අසලින් වමට හැරී තවත් මීටර් දෙසීයක් පමණ පරණ කොට්ටාව මාර්ගයේ කෝට්ටේ දෙසට ගමන් කරන විට මාර්ගයේ දකුණු පස මනරම් භූමිභාගයක පිහිටා ඇති “බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය“ කොළඹ අගනගරයට ආසන්නයෙන්ම පිහිටා ඇති සුවිශාලම ඖෂධ උයනක් සහිත භූමියයි. මෙම ස්ථානය පසු කරමින් යන කිසිවකු හෝ විශ්වාස නොකරන තරමේ සුවිශේෂි ඖෂධ ශාක එකතුවකුත් එයට නොදෙවෙනි සුවිශේෂි කාර්යයන් රැසකුත් මෙම භූමිය තුල ක්‍රියාත්මක වෙමින් තිබෙන බව බහුතරයක් දෙනා නොදන්නා බව අපගේ හැගීමයි. ශාස්ත්‍රීය පර්යේෂණයන් තුලින් සවිමත් පදනමක් සහිත ආයුර්වේදයක් ගොඩනැගීම සදහා ස්ථාපනය කරන ලද මෙම ආයතනය දෙස් විදෙස් ආයුර්වේද ප්‍රාඥයින්ගේ පමණක් නොව බොහෝ බාහිර විද්වතුන්ගේද නොමද ගෞරවයට හා ඇගයිමට පාත්‍රවු ආයුර්වේද ක්ෂේම භූමියකි.
2012 වර්ෂය යනු සිය අභිමානවත් සමාජ මෙහෙවරේ පනස්වැනි වර්ෂ කඩයිම පසුකරනා වර්ෂය වන බැවින් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ කීර්තිමත් ඉතිහාසය තුල එය පැමිණි ගමන් මග පිළිබදවත් පර්යේෂණායතනය මගින් ආයුර්වේදයේ ප්‍රගමනය උදෙසා ඉටු කලාවු සුවිශේෂි කාර්යභාරය පිළිබදවත් සාකච්ඡා කිරිමට මෙය සුදුසුම අවස්ථාව බව අප උදක්ම විශ්වාස කරන්නෙමු.
1962 වර්ෂයේ ඔක්තෝබර් 14 වැනි දින………
ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආරාධනය මත එවකට භාරතයේ අගමැති ධූරය දැරුවා වූත් ඉන්දීයානු නිදහස් අරගලයේ පතාක යෝධයෙකු වූත් ශ්‍රී ජවහල්ලාල් නේරු තුමන් විසින් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය සුභ මොහොතින් විවෘත කල බව දැක්වෙන ශිලාස්ථම්භයක් පර්යේෂණායතන භූමිය තුල ස්ථාපනය කර ඇත…..
විසිවැනි සියවසේ ආරම්භයත් සමගම මෙරට ආයුර්වේද ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම් විය.බොහොමයක් දේශීය ආයුර්වේද ප්‍රාඥයන් තම වැඩිදුර අධ්‍යාපනය සදහා ඉන්දීයාවට ගොස් මැනවින් ආයුර්වේදය හදාරා නැවත මවුබිමට පෑමිණිම ආරම්භ වීම සිදුවූයේ එම වකවානුවේ වීම ඊට ආසන්නතම හේතුව ලෙස සැලකිය හැකිය. දහනම වැනි සියවස මුලදි ඉංග්‍රීසීන් විසින් මෙරට සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමත් සමගම මෙරට තුල මනාව ස්ථාපිතව පැවති ආයුර්වේද සහ දේශිය වෛද්‍ය ක්‍රමයන්ටද කණ කොකා හඩන්නට විය. ඉංග්‍රීසින් විසින් සමස්ථ සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික අංශයන්ගේම සිදුකලාවූ විපරීත ප්‍රතිසංස්කරණයන්ගේ බලපෑම වෛද්‍ය ක්ෂේත්‍රයටද ඒ ආකාරයෙන්ම බලපෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස බටහිර ඇලෝපති වෛද්‍ය ක්‍රමය මෙරට තුල මුල්බැස ගැනීම සිදුවූ අතර එමගින් දේශියව පැවති වෛද්‍ය ක්‍රමයේ බල සීමාවද සුදු පාලකයින්ගේ අනුග්‍රහයෙන් අතික්‍රමණය කිරීමක් සිදුවීය. ඊට සමගාමිව සුදු පාලකයින් විසින් සියවස් ගණනාවක් පුරාවට මෙරට විසූවන් විසින් සුරැකිව රැකගෙන පැමිණි ආයුර්වේදය හා දේශිය වෛද්‍ය ක්‍රමයට අදාල පොත්පත් සහ පුස්කොල පොත් අති නිහීන ලෙස විනාශ කර දමන්නටද විය. එසේම වෙදකම සුරැකිව රැකගෙන පැමිණි වෛද්‍ය පරම්පරාවන් සහ පුද්ගලයින් විනාශ කර දැමීම හෝ තවදුරටත් එම සේවාවන් සැපයීමට නොහැකි වන තත්ත්වයට පත්කරන්නට විය. මෙය කොතරම් බරපතල ලෙස සිදුවූයේද කියතොත් බොහෝ වෛද්‍යවරු තම ජීවිත ආරක්ෂාව උදෙසා ඈත අති දුෂ්කර ප්‍රදේශ වලට පලා යන්නට විය. එහිදි සමහරුන් තම ජීවිත රැක ගැනීමට සමත් වු අතර සමහරුන් අකාලයේ මිය යැමද සිදුවිය. ජීවිත රැක ගත්තවුන් ගෙනුත් බොහෝ දෙනෙකුට නැවතත් තම වෛද්‍ය කටයුතු කර ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවිය. එනමුත් ඉතාමත් සුළු දෙනෙකු පමණක් වෛද්‍ය කර්මය රැක ගැනීමට සමත් වීම වාසනාවකි. එහෙත් ඒවන විටත් දේශියව පැවති වෛද්‍ය ක්‍රමයන් වලට සිදුවිය හැකි උපරිම හානිය සිදුවී අවසන්ව තිබුනේය.
එවැනි අරාජික සමයක් පසුකරමින් පැමිණ විසිවැනි සියවසට ආසන්න වන යුගය වන විට මෙරට තුල බිහිවෙමින් පැවති දේශිය චින්තනය අගය කල නව ධනපති පන්තිය නව දැනුම සහ කීර්තිය සොයා මෙරටින් බැහැරට සංචාරය කිරීම ආරම්භ කර තිබුනහ. ඔවුන්ගෙන් සමහරෙක් බටහිර යුරෝපයටත් සමහරෙක් භාරතයටත් ඇදීගිය අතර භාරතයේදී ඔවුන්ට ආයුර්වේදය නැවතත් ස්පර්ශ කරන්නට අවස්ථාව උදාවිය. මෙරට තුල දෙශිය වෛද්‍ය ක්‍රමය හෝ ආයුර්වේද වෛද්‍ය
ක්‍රමය පිළිබදව කථිකාවත නැවතත් පන ගසා නැගිටීමට මග පාදන්නේ මේ සිදුවීම්ය. මෙවැනි කථිකාවත් හරහා ඉතිරි වී සිටි වෛද්‍ය පරම්පරා නැවතත් සමාජයේ ඉහලට ගැනීමක් සිදුවු අතර නැතිවි ගොස් හෝ අඩුවි තිබුණු සිවිල් සමාජ බලය නැවත ඔවුන් වෙත ආරෝපණය වීමද සිදුවිය. බොහෝ වෛද්‍ය පරම්පරාවල සිටි තරුණ කොටස් වැඩිදුර අධ්‍යාපනයට විදේශ ගත වන්නේද මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනි. ඔවුන් එසේ ගොස් නැවත පැමිනෙන්නේ හුදෙක් විෂය ප්‍රාමාණිකයන් ලෙසම පමණක් නොවේ. රටක් ස්වාධිනව තිබීමේ වැදගත්කම සහ එසේ ස්වාධින රාජ්‍යයක් ලෙස ගොඩ නැගීමේදී තමන්ගේ වගකීම සහ කාර්යය භාර්යය කුමක්ද යන්න පිළිබදව දැනුමින් හා ආකල්ප වලින් මනාව පෝෂණය වෙමිණි. එසේ පැමිණ ඔවුන් තම තම හැකි පමණින් මෙරට නැවතත් මෙරටියන් අතට පත් කර ගැනීමට කල යුතු කාර්යයන් වලට අවතීර්ණ විය. එසේම තම ක්ෂේත්‍රයන් නගා සිටුවීමට කලයුතු කාර්යයන්ටද සහසම්බන්ධ විය. ඒවායේ ප්‍රතිඵල ලෙස මෙරට ශාස්ත්‍රීය ආයුර්වේද අධ්‍යාපනයකන් ලබාදෙන කීර්තිමත් ආයුර්වේද විද්‍යායතන බිහිවිමක් සිදුවිය.
විසි වන සියවස මැද භාගය එනම් මෙරට නිදහස දිනාගන්නා යුගය වන විට නැවතත් ආයුර්වේදය සහ දේශිය වෛද්‍ය ක්‍රමය සමස්ථ ජනගහනයෙන් 80%කගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වග කියන තත්ත්වයකට පත්වන්නේ එම සාධනීය මැදිහත්වීම් නිසාවෙනි. සෑම ගමකම නගරයකම වෙද මහතෙකු සිටිනා තත්ත්වයට මෙම ක්ෂේත්‍රය දියුණුවනු දක්නට හැකි විය. එයට සමගාමීව සුදු පාලකයින් විසින් මෙරට තුල රෝපණය කරන ලද ඇපෝපති වෛද්‍ය ක්‍රමය නම්වු වෘක්ෂයද වේගයෙන් දලුලමින් වැඩීම සිදුවෙමින් පැවතියාහ. මෙසේ දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට පැහැදිලි අභියෝගයක් ඇලෝපති වෛද්‍ය ක්‍රමය තුලින් එල්ල කරමින් එම විද්‍යාව නවීන තාක්ෂණය ඇසුරු කරමින් දියුණුවෙන් දියුණුවට පත් වන්නට විය. එයට සාපේක්ෂව දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දියුණු වුයේ ඉතා සෙමිණි. එයට බලපෑ එක් එක් ප්‍රධාන හේතුවක් වූයේ ඇලෝපති වෛද්‍ය ක්‍රමයේ දියුණුවත් සමගම දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබදව මෙරට පාලකයින්ගේ තිබුණු ආකල්පය සහ කැමැත්ත මදින් මද හීන වී යාමයි. නිසි රාජ්‍ය අනුග්‍රහය නොලෑබීම නිසා සමාජයෙන්ද නැවතත් මෙම වෛද්‍ය ක්‍රමය පිළිබද විශ්වාසය ගිලිහි යන්නට විය. මෙම තත්ත්වය කල් තබා දුටු ආයුර්වේදයට හිතැති ආයුර්වේදකාමී වෛද්‍යවරුන් සහ විද්වතුන් විසින් කල යෝජනාවක් වූයේ ආයුර්වේදය පිළිබද නව පර්යේෂණ කිරීමට සහ දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබද ඇති දුර්මත බැහැර කොට නිවැරදි මත තහවුරු කිරීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසයි. ඒ සදහා වෙනම ආයුර්වේද පර්යේෂණායතනයක් ස්ථාපනය කරවා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව සහ ඉල්ලීම විය.
බණ්ඩාරනායක පොරොන්දු ඉටු කරයි!
මෙම ඉල්ලීම ඉටු වීම දිනෙන් දින කල් ගිය අතර 1956දී සග වෙද ගුරු ගොවි කම්කරු යනුවෙන් පංච මහා බලවේගයක් ගොඩනගා එමගින් රාජ්‍ය බලය ලබාගෙන අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව බිහිවීම සිදුවිය. පංච මහා බලවේගයට වෙද බලවේගයත් එකතු කරගැනීම තුලින් සමාජයේ ගාමක බලවේගයක් ලෙස සෞඛ්‍ය අංශය කෙරේ සහ එම සේවාව සපයන වෛද්‍ය අංශයේ අගය බණ්ඩාරනායක මහතා වටහා ගෙන තිබුනු බව පෙනී යන කරුණක් විය. බටහිර වෛද්‍ය ක්‍රමය සේම දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයද එක ලෙස මහජනතාවට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලදී ඉමහත් සේවයක් සලසන අංශයක් බව වටහා ගෙන තිබීම තුලීන් දේශිය ආයුර්වේද විද්වතුන් විසින් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ කරනු ලැබූ ඉල්ලීම ඉටු කර දීමට මුල් පියවර තැබීමට අගමැති බණ්ඩාරනායක මහතා කටයුතු කරන්නේ ආයුර්වේදයට නව ජීවයක් එක්කර දෙමිනි.
පණ්ඩිත් ශිව ශර්මා මැතිතුමා
අගමැති බණ්ඩාරනායකයන් සහ භාරතීය ජාතික නායකයින් අතර තිබුනාවූ සමීප සම්බන්ධය හා අන්යෝන්‍ය අවබෝධය නිසා ආයුර්වේදයේ ජන්මභූමිය වු ඉන්දියාවෙන් මෙම කටයුත්ත සාර්ථකව ඉටු කරගැනීම සදහා හැකි සෑම සහයෝගයක්ම ගැනීමට අගමැතිවරයාට අවස්ථාව උදාවිය. එහි උච්චස්ථානය වන්නේ අගමැතිවරයාට පර්යේෂණායතනයේ ගොඩනැගීමේ කටයුතු සදහා උපදෙස් දීමට සහ සොයා බැලීමට ඉන්දීයාවේ සිට විශේෂ නියෝජිතයෙකු ලෙස පණ්ඩිත් ශිව ශර්මා මැතිතුමාගේ පැමිණිමයි. කිර්තිමත් භාරතීය විද්වතෙකු සහ වෛද්‍යවරයෙකු වන එතුමා ආයුර්වේද පර්යේෂණායතය සතු විය යුතු සියලුම අංග සහ එහි භෞතික පරිසරය පවා නිර්මාණය විය යුතු ආකාරය පිළිබදව මනාව වටහා ගෙන සිටියෙකු විය. එහෙත් අවාසනාවන්ත ලෙස බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය වීමත් සමගම එම සියළුම කටයුතු නැවතත් අතරමග නැවතීම සිදුවිය.
අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය
ලොව ප්‍රථම අගමැතිණිය වශයෙන් පත්වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය
තම ස්වාමිපුරුෂයා විසින් ඇරඹි කටයුත්ත අවසන් කිරීමට කටයුතු කරනුයේ එතුමියද ආයුර්වේද පර්යේෂණායතනයේ වටිනාකම මැනවින් වටහා ගෙන සිටි නිසාවෙන් බව පිළිගැනීම සිදුවේ. ඉතාමත් කඩිනමින් සහ මනා සැලැස්මකට අනූව ගොඩනැගීමට තීරණය කෙරෙනා ආයුර්වේද පර්යේෂණායතනය ස්ථාපනය කිරීමට මහරගමට නුදුරු උස් තැනිතලා භූමියක පිහිටි දෙමහල් නිවසක් සහ එහි අක්කර පහළොවක් පමණ වූ උද්‍යානය තොරා ගැනෙන්නේ ශිව ශර්මා මැතිතුමාගේද අනුදැනුම මතය. එම භූමියේ අයිතිකරුවන්ට මුදල් ගෙවා ඉඩම සහ නිවස රජයට පවරා ගෙන එම දෙමහල් නිවස පර්යේෂණායතනය ස්ථාපිත කිරීමට සුදුසු පරිදි සකස් කෙරෙන්නේ ඉන්දියානු විශේෂඥයින්ගේ පූර්න අධික්ෂණය යටතේය. ඊට සමගාමිව උද්‍යානය විවිධ වර්ගයන්ගෙන් යුත් ඖෂධීය පැළෑටි රෝපණය කෙරෙන්නේ උද්‍යානයේ සුන්දරත්වය තවතවත් ඔප්නැන්වෙන පරිදිය. ආයතනයේ පළමු අධ්‍යක්ෂ ධූරයට තොරා පත් කර ගැනෙන්නේ ආයුර්වේද වෘහස්පති බලදේව ශර්මා මැතිතුමාය. ඉන්දියාවේ ඉහලපෙළේ වෛද්‍යවරුන්ගෙන් සහ පර්යේෂකයන්ගෙන් යුත් මණ්ඩලයක් මගින් තෝරා පත් කර ගැනෙනා මෙතුමා ආයුර්වේදය සහ බටහිර විද්‍යාවන් පිළිබදව හසල දැනුමක් සහිත වු විද්වතෙකුද විය.
1962 වර්ෂයේ ඔක්තෝබර් 14 වැනිදින යෙදුනු සුබ මොහොතින් ආයුර්වේද පර්යේෂණායතනය ගොඩනැගීමට මූලික අඩිතාලම දැමු දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ගරු ශ්‍රීමතාණන් සිහිවනු වස් එතුමාණන්ගේ නමින් ආයතනය විවෘත කෙරෙන්නේ භාරතීය ජන නායක ඉන්දියානු පාර්ලිමේන්තුවේ එවකට අගමැති ධුරය දැරූ ශ්‍රී ජවහල්ලාල් නේරු තුමන් විසින්ය. එතුමා එම අවස්ථාව සිහි වීම උදෙසා උද්‍යාන භූමියේ වටිනා ගම්මාලු පැලයක්ද රෝපණය කර ඇත. එම ගම්මාලු ශාකය අදද පර්යේෂණායතනයේ
ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ඉදිරියේ ඇති අයුරු ඕනෑම අයෙකුට දැක ගත හැකිය. එසේම ආයුර්වේද පර්යේෂණායතනය පිහිටුවිමේ වැදගත්කම සහ එහි කාර්යයභාර්යය විය යුත්තේ කුමක්ද යන්න පිළිබදව ශ්‍රී නේරු තුමා විසින් එම අවස්ථාවේදි අදහස් දක්වා ඇත.
ශ්‍රී නේරු තුමා….“සෑම දෙයක් කෙරෙහිම විද්‍යානුකූලව බැලිය යුතු බව තරයේ විශ්වාස කරණ කෙනෙකු හැටියට මා කියන්නට කැමතියි, ආයුර්වේද යුනානි වැනි පැරණි ක්‍රම නැවතත් විද්‍යානුකූලව පර්යේෂණ වලට භාජනය කර ඒවායින් මහජනතාවට තවත් ප්‍රයෝජන ලබා දෙන්නට සකස් කල යුතුය කියා. මිනිස් සංහතියේම දියුණුවට එයින් මග පෑදෙනවා නොඅනුමානයි. මේ කරුණු නිසා ලක් රජය මගින් මේ ආයතනය පිහිටුවීම ගැන මා ඉතාම ප්‍රීතියට පත් වෙනවා “.
රෝහලකට මුල්ගල් තැබෙයි.
පර්යේෂණ කටයුතු සදහා අවශ්‍ය කරනා රෝගීන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවට විසදුමක් වශයෙන් එදිනම එතුමා විසින් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ අනුබද්ධිත ආරෝග්‍ය ශාලාව ඉදිකිරීම සදහා මංගල පස්පිඩැල්ල කපා කටයුතු ආරම්භ කර ඇත. පර්යේෂණායතන ගොඩනැගිල්ලට වහාම පිටුපසින් ඉතා අලංකාර ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුගමනය කරමින් නේවාසික රෝගින් සදහා වාට්ටු දෙකකින් සහ බාහිර රෝගී අංශයකින් යුක්තව ඉදිකල රෝහල වර්ෂ 1967 මැයි 30 වැනි දින එවකට ගරු සෞඛ්‍ය ඇමති වරයා වූ එම්. ඩී. එච්. ජයවර්ධන මහතා විසින් මහජන අයිතියට පවරා දෙන්නේ එම ක්‍රියාදාමයේ ඊලග පියවර වශයෙනි.
අද වන විට නේවාසික රෝගීන් සදහා වාට්ටු හතරක් දක්වා එය රෝහල පුළුල් වී ඇති අතර එවායේ රෝගීන් හැත්තෑ එක් දෙනෙකුට නැවතී සිටිමට තරම් පහසුකම් වලින් පොහොසත් වී ඇත. නේවාසික රෝගීන් ලෙස ඇතුලත් කර ගනු ලබන්නේ පර්යේෂණ කටයුතු වලට පහසු වන පරිදි තෝරාගත් රෝග වලින් පෙළෙන රෝගීන් පමණක් වීම විශේෂත්වයක් වන්නේ එය ආයතනයේ මුඛ්‍ය අරමුණෙන් බැහැර නොයෑම සදහා ගනු ලැබූ පියවරක් වීම නිසාවෙනි.
නව සිවුමහල් ගොඩනැගිල්ල බාහිර රෝගී අංශයද ඇතුළුව දේශනශාලා, පුස්තකාල, සායන සදහා කාමර, පර්යේෂණාගාර, කියැවීම් ශාලා සහ වෛද්‍ය විවේකාගාර වලින් යුක්ත වන්නේය. බාහිර රෝගී අංශය තුලින් වාර්ෂිකව අසූ දහසකට අනූ දහසකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් සදහා ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරමින් සිටියි. මෙම රෝගීන් අතරිනුත් බහුතරයක් දෙනා පර්යේෂණායතනයට සම්බන්ධ වී සිටින ස්ථිර වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලබන පර්යේෂණ සදහා දායක්වන රෝගීන් වීම පැසසිය යුත්තකි. විවිධ රෝග පිළිබදව පර්යේෂණ කටයුතු වල නිරත වෙමින් මෙම ආයතනය ඇරඹිමේ ප්‍රධාන අරමුණ ඉටුකිරීමට කැපවි සිටින විසිදෙනෙකුගෙන් පමණ යුතු වෛද්‍ය මණ්ඩලයක් දිනපතා විවිධ අසාධ්‍ය සහ බරපතල රෝග අවස්ථා සදහා සායන පවත්වා ගෙන යෑමත් එම පර්යේෂණ සහ සායන වලදි ලබා ගන්නා ප්‍රතිඵල මගින් වාර්ෂිකව පර්යේෂණ පත්‍රිකා ප්‍රසිද්ධ කිරීමකුත් සිදුකරණු ලැබීම සිදුවේ. එමගින් විවිධ රෝග සදහා නව ප්‍රතිකාර ක්‍රමවේදයන්, විවිධ රෝග වලට අදාල වු විශේෂිත රෝග ලක්ෂණ හදුනාගැනීම්, විවිධ නව ඖෂධ වර්ග හදුනාගැනීම්, භාවිතයේ ඇති ඖෂධයන් වල නව යෙදුම් සහ විවිධ රෝග සදහා නව අහාර හා විහරණ රටවන් පිළිබද පර්යේෂණ ඇතුළු විවිධ වු මාතෘකා යටතේ පර්යේෂණ පත්‍රිකා එලිදැක්වීමක් සිදුකරනු ලැබේ.
මීට අමතරව උපාධිය ලැබ සීමාවාසීක පුහුණුව සදහා යොමුකරණා ආධුනික වෛද්‍යවරුන් සෑම කෙනෙකුම තම සිමාවාසික කාලසීමාව තුල අනිවාර්යයෙන්ම මෙම පර්යේෂණායතනය හා සම්බන්ධ වී මාස තුනක පුහුණුවක් ලබා ගැනීමට කටයුතු කරණු ලැබේ. එහිදි ඔවුනට ප්‍රායෝගිකව පර්යේෂණායතනයේ කටයුතු හා සහසම්බන්ධ වෙමින් විධිමත්ව සහ න්‍යායාත්මක කරුණු මත පදනම්ව පර්යේෂණ මෙහෙය වීම පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා කර දී ඇත්තේ ආයතනය තම වගකීම මනාව ඉටුකරමිනි.
රෝහලේ ප්‍රතිකාර කටයුතු වලට අවශ්‍ය විවිධ සංස්කාරිත ඖෂධ සහ එදිනෙදා කෂාය සහ අනුපාන වර්ග නිශ්පාදනය කරනා භෛෂජ්‍යාගාරයක්(Pharmacy) ආයතනයේ තවත් වටිනා සම්පතක් වන අතර එය විධමත්ව නඩත්තු කිරීමද ආයතනය මගින් සිදුවන තවත් පැසසිය යුතු කාර්යයකි.
ඖෂධ වල ප්‍රමිතිය රැක ගැනීමට….
පර්යේෂණායතනයේ කටයුතු වලට පමණක් සීමා නොව බාහීර පාර්ශවයන් විසින් ලබා දෙනු ලබන ඖෂධ වල තත්ත්වයද නවීන විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරමින් පරීක්ෂා කරමින් ගුණාත්මක බවින් ඉහල ඖෂධ මහජනතාවට ලබා දීමට කටයුතු කරන්නේ ආයතනයේ ප්‍රමිති අංශය මගිනි. එහිදී ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් බාහිර පාර්ශවයන්ගෙන් මිලදී ගනු ලබන ඖෂධ අමුද්‍රව්‍ය වල ගුණාත්මකභාවය පරීක්ෂා කර බලා ස්ථීර කර ගැනීම සදහා සෘජුවම යොමු කරන්නේ මෙම අංශය වෙතටයි. ඊට අමතරව පළාත් සභා මගින් පාලනය වන පළාත් රෝහල් ඇතුළු සියළුම රාජ්‍ය අංශයේ ඖෂධ නිශ්පාදන ආයතන විසින් නිපදවනු ලබන ඹෟෂධ වල ගුණාත්මකභාවය පරීක්ෂා කර ගැනීමට යොමු කරන්නේද මෙම අංශය වෙතයි. පුද්ගලික අංශයේද ඖෂධ නිශ්පාදකයින් තම නිශ්පාදන පිළිබද තත්ත්ව සහතික ලබා ගැනීමට මෙම අංශය සමග සම්බන්ධව කටයුතු කරනු ලැබේ. ඊට අමතරව ප්‍රමිති අංශය සමග සම්බන්ධ පර්යේෂණ වෛද්‍යවරුන් විසින් තමන් විසින්ම පර්යේෂණ සිදුකොට නව ඖෂධ වර්ගද හදුන්වා දීම සිදු කරනු ගැබේ. නව රසායනාගාර සහ නවීන උපකරණ සමගින් ප්‍රමිති අංශය නව දෙමහල් ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීමට සිදුවන්නේම පර්යේෂණායතනයේ සිදුකරනා සියළුම වෛද්‍ය පර්යේෂණ කටයුතු වලට එහි ඇති දායකත්වය සුළුවෙන් තැකිය නොහැකි නිසාවෙනි.
නගරයක් මැද ඖෂධ කැළයක්
අක්කර පහළොවක් යනු කුඩා ඉඩ ප්‍රමාණයක් නම් නොවේ. විශේෂයෙන් මහරගම වැනි සීග්‍රයෙන් සංවර්ධනය වෙමින් යන ප්‍රදේශයක මෙවැනි ඉඩ ප්‍රමාණයක් සුවිශාල ආර්ථික වටිනාකමක් ඇති භූමියක් බව අමුතුවෙන් කිවයුතු
නොවේ. එවැනී භූමියක කැළයක් තිබිය හැකිද? එහෙත් සත්‍ය නම් 250කට නොඅඩු ශාක විශේෂ විවිධත්වයක් ඇති කැලයක් එහි තිබෙනා බවයි. එහෙත් අප පවසන මෙම කැළයේ ඇති විශේෂත්වය වන්නේ මෙම විශේෂ 250 අයත් මුළු ශාක 1550ම ඖෂධ ශාක වීම බව බොහෝ දෙනා නොදැන සිටීමයි. එයිනුත් ආවේණික ශාක විශේෂ විස්සකුත් වදවි යෑමේ තර්ජනයට ලක්වී ඇති ශාක විශේෂ දොළහකුත් තිබීම විශේෂත්වයක්ම නොවේද? 1962 වසරේ සිට මනාව රැක ගනිමින් නව ශාක විශේෂ රෝපණය කරමින් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයට ආභරණයක් වෙමින් විරාජමාන වන ඔසු උයන විවිධ පාරිසරික පද්ධති වලදී දැකගත හැකි ඖෂධීය ශාකයන් එකම ස්ථානයකදී දැක ගත හැකි හොදම ස්ථානයයි. මෙහි සදාහරිත තෙත් වනාන්තර වල වැවෙනා ශාක විශේෂ වන ගොඩපර, රදලිය, බදුල්ල, හොර, අරිද්ද, අළු බෝ වැනි ඖෂධ ශාකද කදුරට තෙත් වනාන්තර ශාක විශේෂ වන මුරුත, අට්ටික්කා, අංකෙන්ද, කීන, දියපර ආදී ශාක විශේෂද දැක ගත හැක. අමතරව වියළි සහ අතරමැදි වනාන්තර ප්‍රදේශ වල සුලබ අරළු, බුළු, නෙල්ලි, කොහොඹ, පලු, ගම්මාලු වැනි ශාකද
හදුනා ගත හැක. වදවිමේ තර්ජනයට දැඩිව මුහුණ දී සිටින වෙනිවැල්, දුහුදු, කොතලහිඹුටු වැනි වැල් වර්ගද රත්හදුන් ඒකාවේරිය, බිංකොහොඹ වැනි ගස් සහ පදුරු ශාකද දැක ගැනිමේ වාසනාව ඇත. ඖෂධ උයනේ ශාක විවිධත්වය මනාව පිළිබිඹු වන්නේ එහි ඇති ආවේනික ශාක විශේෂ වල එකතුව නිසාවෙනි. ගල් දෙමට, බාදුරා වැනි කුඩා ශාක වලට අමතරව හොර, කළුවර සහ රත්ගොරකා වැනි ආවේනික ශාක මෙහිදි පහසුවෙන් නිරික්ෂණය කල හැක. වදවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි ලෝක සංරක්ෂණ සංගමය විසින් නිගමනය කොට රතු දත්ත පොතට ඇතුලත් කර ඇති ලේන්තැරි, කළුමැදිරිය, බදුල්ල, අලබේත් වැනි ශාකද මෙහි සංරක්ෂණය වේ. සපුෂ්ප ශාක විශේෂයන්ට අමතරව මීවන ශාක, පර්ණාංග හා ආශ්‍රිත ශාක බොහෝ ශාක කදන් මත දැකිය හැකි විවිධ වර්ගයේ ලයිකන විශේෂද, දිලීර විශේෂද මෙහි ජීවි විවිධත්වය ඉහල නැන්වීමට හේතු වි ඇත.
ශාක වලින් පමණක් කැළයක් සම්පූර්ණ වන්නේ නැත. අනෙකුත් සත්ත්ව විශේෂද එහි සිටිය යුතුය. ක්ෂිරපායි විශේෂ පහක් මෙම පරිසර පද්ධතිය තුලින් හමුවන්නේ ඒ අනූවය. පක්ෂි විශේෂ හතලිහක්, සමනල විශේෂ පහක්, බත්කූරන් උරග සහ උභය ජීවි විශේෂ දහයකට ආසන්න ගණනක් මෙය තම නවාතැනක් බවට පත් කරගෙන ඇත.
දිවයින පුරා විහිදුනු අනෙකුත් ඔසු උයන්(පට්ටිපොළ, ගිරාදුරුකෝට්ටේ, හල්දුම්මුල්ල, පල්ලෙකැලේ සහ පින්නදූව) සේම ජාතික ඖෂධ උද්‍යානයලෙස නම් කර ඇති පර්යේෂණායතනයේ ඔසු උයනත් අයත් වන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවර්ධන කමිටුවටය. එහෙත් නඩත්තු කටයුතු සිදු කරනුයේ
බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ තවත් සුවිශේෂි අංශයක් වන උද්භිද විද්‍යා අංශය මගිනි. ඔවුන් එම කාර්යය මනාව ඉටුකරගෙන යන අතරම පරයේෂණ කටයුතු සදහා තම උපරිම සහය ලබාදීමට කැපවී සිටියි. ඖෂධ පැලෑටි සංරක්ෂණය තම ප්‍රමුඛතම වගකිම කොට ගෙන ඇති එම අංශය ඊට අමතරව ඔවුන් වෙත ලැබෙන විවිධ ශාක නිදර්ශක නිවැරදිව හදුනා ගනිමින් එවා තහවුරු කිරීම සිදුකරනු ලබයි. තවද ඖෂධ සංස්ථාව සහ අනෙකුත් ආයතන මගින් ඉදිරිපත් කරන අමුද්‍රව්‍ය නිසිපරිදි හදුනාගැනීමද සිදුකරන්නේ මෙම අංශය මගිනි. දිවයින පුරා බෙදාහැරීමට හා මහජනතාවට මිලදී ගැනීමට පහසු වන පරිදි ඖෂධ ශාක වල බීජ ප්‍රරෝහණයන් සිදු කිරීමත් වගා පර්යේෂණ කටයුතු සිදු කිරීමත් මෙම අංශය තමන් විසින්ම කරගෙන යනු ලබන වටිනා කාර්යයන් වේ. ආයතනයෙන් බැහැරට ගොස් ඖෂධ ශාක පිළිබද දැනුවත් කිරීමේ ව්‍යාපාර පාසල් හා උසස් අධ්‍යාපන ආයතන ආශ්‍රිතව සිදුකිරීමත් පත්‍රිකා සහ පොස්ටර් මාර්ගයෙන් ජනතාව ඖෂධීය ශාක සහ ඒවායේ භාවිතය පිළිබද දැනුවත් කිරීම් කරනු ලබන්නේ පර්යේෂණායතනය පිහිටවීමේ අරමුණු සඵල කරමිනි. ඔසු උයන් සකස් කිරීම, ඒ පිළිබද තාක්ෂණික සහය ලබා දීම සහ අවශ්‍ය පැළ සැපයීම වැනි සමාජ සත්කාර්යයන්ටද මෙම අංශය තම දායකත්වය ලබා දී ඇත.
බොහෝ දෙනා සිතා සිතනුයේ නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය යනු ආයුර්වේද වෛද්‍යවරුන්ට පමණක් සීමාවූ හුදකලා ආයතනයක් නැතිනම් භූමියක් ලෙසය. එහෙත් එය එසේ නොවේ. එය මුළු මහත් ජාතියේම සම්පතකි. මෙරට පමණක් නොව විදේශිකයන් පවා ක්ෂේත්‍ර චාරිකා සදහා බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය තෝරා ගන්නේ එහි වටිනානම හදුනාගෙන ඇති නිසාවෙනි. අධ්‍යාපනය හදාරන සිසුන්ටත් පර්යේෂණ කටයුතු වල නිරත වන්නන්ටත් වටිනා තොරතුරු සොයා ගත හැකි ආයුර්වේද දැනුම් ගබඩාවක් වන බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය විවෘතව පවතින බව මතක් කරනු කැමැත්තෙමු. මෙම ස්ථානය පාසල් සිසුනට කොළඹ දිස්ත්‍රික්කය තුලදීම වටිනා දැණුම් සම්භාරයක් ලබා ගත හැකි වටිනා ක්ෂේත්‍ර චාරීකාවකට තෝතැන්නකි.
ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා පාලනය වන නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය අඩ සියවසක් මුළුල්ලේ කම ජාතික යුතුකම ඉස් මුදුනෙන්ම ඉටු කර ඇති බව එහි චාරිකා කරන ඕනෑම අයෙකුට දැකගත හැකිවනු ඇත. එයට කදිම සාක්ෂිය වන්නේ මෙම අලංකාර භූමිභාගයත් දිනපතා ආයතනය සමග සම්බන්ධ වන විශාල රෝගීන් පිරිසත් බව අවසාන වශයෙන් සටහන් කර තබන අතර තව බොහෝ කාලයක් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයට තම සමාජ සත්කාරය ඉටුකරමින් ආයුර්වේදයේ උන්නතියට ලබා දිය හැකි උපරිමය ලබා දීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.
විශේෂ ස්තූතිය: තොරතුරු සපයා ගැනීමට උපකාර කල සැමට!