මුහුණේ පැහැය හා සුන්දරත්වය තරුණ තරුණියන්ට ආභරණයක් බඳුය. සුන්දර, නිකැළැල් මුහුණක් ලැබීම යමෙකු වාසනාවක් ලෙස ද සලකයි. මුහුණ සඳට උපමා කරන්නේ ද එහි ඇති පැහැපත් බවත්, පිරිසිදු බව මෙන්ම නිකැළැල් බවත් නිසාමය.එහෙත් මෙම මුහුණේ සුන්දරත්වයට හානි පමුණුවන රෝග පිළිබඳවත් අසන්නට දකින්නට ලැබේ. ඒ අතුරින් ඉතා සුලබව දකින්නට ලැබෙන්නේ කුරුලෑ ලෙස හඳුන්වන සමේ රෝග අවස්ථාවයි.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී කුරුලෑ හඳුන්වන්නේ “යුවාන පිඩකා” හෙවත් “මුඛ දූෂිකා” යන නාමයෙනුයි. වැඩිපුර මුහුණේ ඇතිවන නිසා මුඛ දුෂිකා යන නාමය යෙදි ඇත. ඒ වගේම තරුණ වයසේදී ඇති වන නිසා යුවාන පිඩකා යන නාමය භාවිතා කෙරී ඇත. ආයුර්වේදයේදි මේවා දක්වා ඇත්තේ ක්ෂුද්‍ර රෝග ලෙස වර්ග කෙරී ඇති රෝග කාණ්ඩය යටතේය.
කුරුලෑ ඇතිවන්නේ කෙසේද?
මෙහිදි සිදුවන්නේ මුහුණේ හමේ ඇති ස්නේහස්‍රාවී ග්‍රන්ථි(Sebaceous glands) හා රොම කූප(Hair follicles) වල ප්‍රදාහිත තත්ත්වයක් ඇති වීමයි. අපගේ හම ශරීරයේ ඇති විශ්මිත ඉන්ද්‍රියකි. සම සංවේදී ඉන්ද්‍රියක්ද වන අතර පටක වල ආරක්ෂාව, ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීම මෙන්ම ශරීරයෙන් නිපදවන අපද්‍රව්‍ය බැහැර කිරීම යන ප්‍රධාන කටයුතුද සිදුකෙරේ. මේ නිසා ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන්ගේ කටයුතු සමග හොද සමායේජනයක් සහිතව හම ක්‍රියාත්මක වේ. මේ නිසා සමේ ඇතිවන රෝග යනු සම කෙරෙහිම පමණක් සීමා වූ රෝග තත්ත්වයන් නොවේ. එනම් හමේ රෝග ශරීරයේ සමස්ත ක්‍රියාකාරීත්වයේ දෝෂ නිසා හටගැනිම සිදුවිය හැක.ආයුර්වේදයේ පිළිගැනිම වන්නේ එයයි.
කුරුලෑ ඇතිවන ස්ථාන
කුරුලෑ ප්‍රධානවම හටගන්නේ මුහුණෙහිය. මීට අමතරව බෙල්ල, පපුව, පිට, උරහිස් යන ස්ථාන වලත් ඇති විම සිදුවේ. විශේෂයෙන්ම තෙල් සහිත සමක් ඇති අයගේ කුරුලෑ ඇති විමේ වැඩි ප්‍රවනතාවක් ඇත.
කුරුලෑ සහ වයස අතර සම්බන්ධතාවක් තිබේද?
සාමාන්‍යයෙන් කුරුලෑ ඇතිවීම පටන් ගැනීම සිදුවන්නේ ගැටවර වයසේදීය. එනම් වයස අවු 12 පමණ වන විටය. වයස අවු 20ක් පමණ වන විට කුරුලෑ ක්‍රමයෙන් නැතිවී යයි. අවුරුදු 30 වු පසුවත් කුරුලෑ රැදී පවතින්නේ ඉතාමත් සුළු පිරිසකගේය. සාමාන්‍යයෙන් ගැටවර වයසේ පසුවන දසදෙනෙකු පරික්ෂා කල හොත් ඉන් අට දෙනෙකුගේම කුරුලෑ පැවතීය හැකියි. ඒ ගැටවර වයසට පත් වීමේදී ඇතිවන හෝමෝන වල ක්‍රියාකාරිත්වය නිසාවෙනි. කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය ආරම්භ වනවාත් සමගම කුරුලෑ වල රෝග ලක්ෂණ වැඩිවිම සිදුවේ. කුරුලෑ ඇතිවන වයසේදී තරුණ තරුණියන් මානසික වශයෙන්ද දැඩි අසහනකාරී තත්ත්වයකට පත්වීම නිරික්ෂණය කල හැක.
කුරුලෑ ඇතිවීම කෙරෙහි බලපාන හේතු
කුරුලෑ වර්ග ගණනාවක්ම ඇත. ඒ සියල්ලටම එක සමාන හේතු බලපායි. විශේෂයෙන්ම සෞඛ්‍යාරක්ෂක නොවන ජීවන පුරුද ඒ සඳහා සෘජුවම බලපායි. අධික මානසික ආතතිය(Stress) භාජනය විමේදී කුරුලෑ ඇතිවීම සිදුවිය හැක. වැඩිපුර පාඩම් කිරීම වැනි මනස වෙහෙසවන කටයුතු වලද බලපෑමක් කිබේ.වැඩිපුර පිටි, සීනි සහ තෙල් සහිත ආහාර ගැනීමත් මේ සඳහා හේතු වේ. නිතර නිතර මලබද්ධය ඇතිවීම තවත් වැදගත් හේතුවකි. මේ නිසා වැඩිපුර විෂ කොටස් ශරීරයේ තැන්පත් වේ. මේ විෂ සම හරහා ඉවත් කිරීමට දරන ප්‍රයත්නයේදී ප්‍රතිඵලයක් ලෙස කුරුලෑ ඇතිවීම සිදුවේ. නිතර තේ, කෝපී, චොකලට් සහ අයිස් වැනි දේ ආහාරයට ගැනීමද කුරුලෑ වලට හේතුවක් වේ.
තෙල් සහිත ක්‍රිම් වර්ග, ලෝෂන් වර්ග ආලේප කිරිම සහ ඒවා ඉවත් කිරිමේ දෝෂ, කුරුලෑ මිරිකා ඉවත් කිරීමට තැත් කිරීම, මුහුණ මතුපිට සමේ ඇති අපිරිසිදු බවද මීට බලපාන වෙනත් කාරණා වේ.මේවාට අමතරව බැක්ටිරියා ආසාදන මඟින්ද කුරුලෑ ආශ්‍රිතව සැරව ගෙඩි(Comedone) ඇතිවිම සිදුවේ. උෂ්ණ ප්‍රදේශ වල ජීවත්වන වැඩිපුර දහදිය දමන අයට කුරුලෑ අවධානම වැඩිය.
කුරුලෑ වල විශේෂතා
සමහර අවස්ථාවන්හි කුරුලෑ වල ප්‍රමානය බෙහෙවින් කුඩාවේ. කීපයක් පමණක් තිබෙන අවස්ථා දැක ගත හැක. තවත් අවස්ථා වලදි ඉතා විශාල කුරුලෑ ඇතිවේ. සංඛ්‍යාවෙන් වැඩි කුරුලෑ දැකගත හැකි අවස්ථාද ඇත. එසේම සමහර ඒවා සමේ මතුපිටින් තිබෙන අතර සමහර ඒවා ඉතා ගැඹුරින් තිබේ. මේ ආකාරයට හමට යටින් ග්‍රන්ථි(Cyst) පවා ඇති වීම සිදුවේ. හමේ තැන තැන කැලැල් ඇතිවිම සිදුවේ. මේ ලක්ෂණ සහිත සහිතව කුරුලෑ වර්ග හයක් (6) පමණ හදුනාගෙන ඇත.
ශාරිරික හා මානසික බලපෑම
කුරුලෑ ඇතිවිමේ ප්‍රමාණය අනූව ඒතුලින් ඇතිවන මානසික අසහන තත්ත්වයන්ද වෙනස් වේ. මෙමඟින් මුහුනට අවලස්සන බවක් ගෙනදේ. මුහුණේ තැන් තැන්හී ස්ථිර කැලැල් ඇතිවේ. හමට යටින් ගෙඩි වැනි තද ප්‍රදේශ ඇති වේ. මේ සියල්ලේම එකතුවෙන් කුරුලෑ යමෙකුගේ පෞරුෂත්වයටද හානි ගෙන දෙන තත්ත්වයකට පත්වේ.
ප්‍රතිකාර
කුරුලෑ වලට ප්‍රතිකාර කිරීමේදී සරල මුහුණු ආලේපයක් මඟින් එය කල නොහැකිය. නිතර සම පිරිසිදුව තබා ගැනීම අනිවාර්යයෙන්ම කල යුතුයි. හමේ තෙල් ස්වභාවය අඩු කිරීමට පියවර ගත යුතුයි. එසේම කුරුලෑ ආසාදන විමෙන් වලක්වා ගැනීමද වැදගත්ය. පරිසර දුෂණයෙන් හැකිතාක් බැහැර වීමද අත්‍යාවශ්‍යය. හොඳ පිරිසිදු වාතාශ්‍රය ඇති පරිසරයක ව්‍යායයාම කිරීම, දිනපතා හොඳින් මලපහ පිටවීමට ශරීරය හැඩගස්වා ගැනීම ඉතා අවශ්‍යයි. කුරුලෑ ඇතිවීමට හේතු වන ආහාර වලින් වැළකිය යුතුයි. වැඩිපුර පිටි සහ තෙල් බහුල ආහාර වලින් වැළකීම සුදුසුයි. ඒ අතරම සමබල ආහාර වේලක් ගැනීම වැදගත්ය. රාත්‍රියට ප්‍රමාණවත් න්න්දක් ලැබීම අත්‍යාවශයයි. එසේම නිදිවැරීම සුදුසු නොවේ.
පළතුරු විතරක් කන්න
හැකිනම් පළමු දින කිහිපය පළතුරු පමණක් ආහාරයට ගන්න. කෙඳි සහිත පළතුරු විශේෂයෙන්ම සුදුසුය. වියළි සහ ටින් කල පළතුරු හා වෙනත් ආහාර වලින් හැකිතාක් වලකින්න. සිනී රහිතව දෙහි යුෂ පානය කිරීම සහ සතියකට වරක් මද උණුසුම් ජලය වස්ති කිරීමද(enema) සුදුසුය.මෙම පළතුරු පමණක් ආහාරයට ගන්නා දින ගණනට පසුව සාමාන්‍ය ආහාරයට ක්‍රමයෙන් පුරදු විය යුතුය. ඒ අතර නැවත මාසයකට වරක් වත් දින 2ක් හෝ 3ක් පළතුරු පමණක් තුන්වේලටම ආහාරයට ගත යුතුය. මේ අතර පැනි බීම වර්ග, අයිස් ක්‍රීම්, අච්චාරු වැනි ආහාරද ගැනීමෙන් වැලකිය යුතුය. විටමින් සී, විටමින් ඊ සහ සින්ක්, නියැසීන් ආදී පෝෂනිය පදාර්ථ අඩංගු ආහාර ගැනීම අවශ්‍යයි.
හුමාලය අල්ලන්න
සතියකට දින කිහිපයක් මුහුණට මද වශයෙන් හුමාලය ඇල්ලීමද වැදගත්ය. ඒමඟින් සමේ සිදුරු විවිත වී විෂ ද්‍රව්‍ය බැහැර වේ. පසුව සිසිල් ජලයෙන් මුහුණ සොදන්න. උදෑසන මුළු ශරීරයටම හිරුඑළිය වැටීමට සැලැස්වීමද හිතකරය. කුරුලෑ සඳහා බාහිරයෙන් ආලේප කල හැකි අත් බෙහෙත් වර්ග ඇති මුත් හුදෙක් මුහුණේ ආලේප තැවරීම මඟින් පමණක් කුරුලෑ සුව වන්නේ නැත. ශරීරය සමස්ථයක් ලෙස සලකා ප්‍රතිකාර කිරීම අවශ්‍ය බැව් සැලකිය යුතුය.