ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
සැමටම උරුම නිරෝගිමත් කෙස්කලඹ

කෙස්කලඹ කාන්තාවගේ පංච කල්‍යාණයෙන් එක් අංගයකි. විශේෂයෙන්ම තරුණ කාන්තාවකගේ රූප ශෝභාවේ එක් මිනුම් දඬුවක් වන්නේ ඇය සතු  දිගු එමෙන්ම ඝනව වැඩුණු කළුවන් ‍කෙස් කලඹ බව අතීතයේ සිට පැවත එන පිළිගත් මතයකි. එනිසාම වරලස කාන්තාවකගේ රූසපුවට ආබරණයක් බඳුයයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. පැරණි කවියෝ කාන්තා සුන්දරත්වය වැනූ කවිවල ඇගේ කෙස් කලඹ පිළිබඳ විශේෂයෙන් සඳහන් කර ඇත්තේම ඒ නිසාවෙනි.

වර්තමානයේ කාන්තාවන් පවසන විවිධ රූපලාවණ්‍ය ගැටලු අතර කෙස් සම්බන්ධව ඉදිරිපත් කරන ගැටළුවලට හිමි වන්නේ ප්‍රධාන තැනකි. සමහර තරුණ කාන්තාවන්ගේ කෙස් ඉතා තුනීය. එමෙන්ම පහසුවෙන් කැඩෙන සුලුය(Brittle), දුඹුරු පැහැ වීමද දැකගත හැක. මෙය එවැනි කාන්තාවන්ගේ මානසික අසහනයට හේතුවේ. ඊට අමතරව ඉතා විශාල වශයෙන් කෙස් ගැලවී යෑම මෙන්ම අකලට කෙස් සුදුවීමද දක්නට ලැබේ. වර්තමානයේ මෙම ගැටළු කාන්තාවන්ට පමණක් සීමානොවී  පුරුෂ පාර්ශවයටද බරපතල ලෙස මානසික පීඩා ගෙන දෙන තත්ත්වයකට වර්ධනය වී ඇත. එහිදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල මෙම තත්ත්වයන් ගැන දක්වා ඇති කරුනු විමර්ශණය කිරීම වැදගත්ය. බහුල වශයෙන් කෙස් ගැලවී යාම ආයුර්වේදය තුල හඳුන්වන්නේ “ඛාලිත්‍යය” යන නමින්ය. එසේම අකලට කෙස් සුදුවීම “පාලිත්‍යය” ලෙසද හඳුන්වයි.

හිසකෙස් ගැලවී යාමට විවිධ හේතු බලපානු ලැබේ. ඒවා ප්‍රධාන ලෙස අපගේ ආහාර, ඖෂධ සහ විහරණ හේතුවෙන් ඇතිවන ඒවා බව දැක්විය හැක. එහිදි  පහත හේතු සෘජුවම එයට දායක වේ.

  • නිතර නිතර වැඩිපුර ලුණු බහුල ආහාර, බොහෝ උෂ්ණ ආහාර(ඉස්සන්, අන්නාසි වැනි), තීක්ෂ්ණ ආහාර(අබ, අච්චාරු වැනි) සහ එකවර ආහාරයට නොගතයුතු දේ(මුදවපු කිරි සමග මාළු වැනි) දේ ආහාරයට ගැනීම.
  • මීට අමතරව නොකඩවා ඇතිවන මානසික ආතතිය.
  • සමහර කාලීන රෝග තත්ත්වයන්ද බහුලව කෙස් ගැලවී යෑමට හේතුවේ. උදාහරණ ලෙස දියවැඩියාව හා තයිරෙයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග දැක්විය හැක.
  • වර්තමානයේ උපත් පාලනය සඳහා කාන්තාවන් භාවිත කරන ඖෂධද සමහර කාන්තාවන්ගේ කෙස් බහුලව ගැලවී යෑමට හේතවේ.
  • රුධිර කැටි ගැසීම වැළැක්වීම සඳහා භාවිත කරන සමහර ඖෂධ, පිළිකා මර්ධනය සඳහා භාවිතා කරන ඖෂධ මඟින් මෙන්ම විවිද මානසික රෝග සඳහා නිර්දේශ කරනු ලබන ඖෂධද  කෙස් ගැලවී යෑමට හේතු වන අවස්ථා දැකගත හැක.
  •  මීට අමතරව සමහර කාන්තාවන් ගර්භණි කාලයේදී කෙස් වැඩිපුර ගැලවී යෑමද සිදුවේ.

නමුත් මෙම තත්ත්වයන් තරුණ කාන්තාවන් කෙරෙහි බලපාන්නේ කලාතුරකිනි.  මෙවැනි  රෝග නැති  හා එවැනි ඖෂධ නොගන්නා බොහෝ අයගේද කෙස් අධිකව ගැලවීම විශාල ගැටළුවක්ව පවති. මේ තත්ත්වයට ප්‍රධානම හේතුව වන්නේ හිසෙහි අපිරිසිදුභාවය යැයි පැවසිය හැක. එම අපිරිසිදුභාවය හේතුවෙන් කෙස් වලට පෝෂණය සපයන ස්නේහස්‍රාවි ග්‍රන්ථිවලින් ස්‍රාවය වන Sebum වලට බාධා පමුණුවා කෙස්වල පෝෂණය අඩු කරයි. එමගින් කෙස් ගස් වියැළීමට ලක්වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස කෙස් වැඩිපුර ගැලවී යා හැකිය. මෙහිදී මතක තබාගත යුතු කරුණක් වන්නේ කෙස් ගැලවී තට්ටය පෑදීම ආරය(Heredity) මඟින්ද තීරණය වන බවය

පෝෂණ ඌනතාව

බී කාණ්ඩයේ බොහෝ විටමින් ඌනතාවයන් (B5, B6, B9, B12), ෆෝලික් අම්ලය, විටමින් A, C,D ඌනතාව, තඹ(Cu), යකඩ(Iron), සිලිකා, සල්ෆර් හා සින්ක් යන පෝෂ්‍ය පදාර්ථ කාලයක් තිස්සේ ආහාරයෙන් නොලැබී යෑමද කෙස් අධිකව ගැලවී යෑමට හේතු වෙන බව ‍සොයාගෙන ඇත.

කුමන හේතුවක් මත මෙවැනි තත්ත්වයක් ඇති වුවත් අධික වශයෙන් කෙස් ගැලවී යෑම පාලනය කළ හැකිය. මේ සඳහා ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඇත. එහෙත් එම ප්‍රතිකාර පදනම් වනුයේ කෙස් ගැලවී යෑමට බලපෑ හේතුව මතය. පෝෂණ ඌනතාවක් ඇතිනම් පෝෂණෙන් යථා තත්ත්වයට පත් කළ යුතුය. කෙස් වර්ධනය වන්නේ ප්‍රෝටීන් මඟින්ය. එම නිසා ප්‍රෝටීන් අඩංගු ආහාර ප්‍රමාණවත්ව දිනපතා ගත යුතුය. ඒවානම් කිරි, බිත්තර, මාළු, සොයාබෝංචි හා විවිධ ධාන්‍ය වර්ගවල ප්‍රෝටීන් අඩංගු වේ. රුධිරයේ Inositol සාන්ද්‍රණය අඩුවූ විට කෙස් ගැලවී, අයඩීන් ඌනතාවයද මෙයට බලපායි. එම  සංඝටක අඩංගු ආහාර ගත යුතුය. මේ අනුව ධාන්‍ය, එළවළු, පලතුරු, පලාවර්ග සමග මස්, මාළු, බිත්තර, කිරි වැනි දෙයක් ආහාරයට ගැනීමෙන් නොකඩාවා හොඳ පෝෂණයක් ලැබීමට හේතුවේ.

මීට අමතරව හිස හොඳින් පිරිසිදු කිරීම ඉතා වැදගත්ය. හොඳින් පිරිසිදු කිරීමෙන් පසුව ඖෂධීය තෙල් වර්ගයක් හිසෙහි ගා ක්‍රමානුකූලව සම්බාහනය කළ යුතුය. මීට අමතරව නස්‍ය කිරීමද ආයුර්වේදයේ බහුලව භාවිතා කරයි. මෙම ප්‍රතිකාරයන් කෙස් හැලීම මෙන්ම අකලට සුදුවීමද වළක්වා දීප්තීමත් දිගු කෙස් කලඹක් ලැබීමට හේතුවේ. එමෙන්ම හිසරදය ඇත්නම් එයද සුවවී සුව නින්දක් ලැබීමටද නස්‍ය ප්‍රතිකාරය හේතුවේ.

විධිමත් ප්‍රතිකාරයකට යාමට තරම් මෙම තත්ත්වය උත්සන්න වීමට පෙර නිවසේදීම කල හැති සරල ප්‍රතිකාරයන්ද ඇත. ඒ පිළිබඳව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත හැක. එසේ නොමැතිව විවිධ වෙළඳ ප්‍රචාරයන්ට අනූව හෝ එක් එක් අයගෙන් අසා දැන ගත් කරුණු අනුව කරණු ලබන විවිද අත්හදාබැලීම් වලට යාමෙන් විවිධ සංකූලතා ඇතිවිය හැක.