ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
වැල්මී ගසක්ද? නැතිනම් වැලක්ද?

ආයුර්වේදය, පාරම්පරික චීන වෛද්‍ය ක්‍රමය වැනිවු  පෙරදිග වෛද්‍ය ශිල්ප තුල සම්භාවනාවට පාත්‍ර වූ සුවිශේෂි ඖෂධයක් ලෙස පිළිගැනෙන වැල්මි නම්වූ ශාකය පිළිබදව අපරදිගයන්ගේ දැනුම, අවබෝධයක් ඉහල හෝ පහල වුවද සාපේක්ෂව  එම ඖෂධ ශාකය වඩාත් වැඩියෙන් ප්‍රයෝජනයට ගන්නා පෙරදිගය රටක් වශයෙන් අප රටේ ජනතාව තුල පවතින්නාවූ දැනුම හා අවබෝධය සාපේක්ෂ වශයෙන් ඉතාම අල්ප බව “වැල්මී ගසක්ද? නැතිනම් වැලක්ද?“ යන පැණයට ලබාදෙන්නාවූ පිළිතුර තුලින්ම සනාථ කර ගත හැක. එහෙයින් අප‍‍ගේ අරමුණ වන්නේ ඉතා වටිනා ආයුර්වේද ඔසුවක් වන වැල්මී පිළිබඳව ඔබ‍ගේ දැනුම් ගබඩාව නිවැරදි තොරතුරු වලින් පුරවාලීමයි.

ලෙගියුමිනේසි(Leguminasae) කුලයට අයත් Glucyrrhiza glabra Linn යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් ශාක ලෝකය තුල හදුන්වන වැල්මී ගසකුත් නොවන වැලකුත් නොවන පදුරු/ගුල්ම ලෙස වර්ග කෙරී ඇති ශාක ප්‍රභේදයට අයත්වන්නක් ලෙස හදුන්වා දිය හැකිය.

ආයුර්වේදය තුල මධුයෂ්ටි, යෂ්ටිමධු, මධුක, මධුකා, කාෂ්ඨමධුක, මධුවල්ලී, ක්ලීතක, ක්ලීතනක ආදීවු පර්යාය නාමයන්ගෙන් දක්වා ඇති මෙම ශාකය ඉංග්‍රීසි භාෂාවෙන් හදුනා ගන්නේ Liquorice(ලිකරිස්) යන නාමයෙනි. මීට අමතරව  White liquorice root යන නාමයෙන්ද වැල්මී හදුනා ගනී. කෙතරම් පර්යාය නාම වලින් හැදින්වුවත් මෙම ශාකය භූමියේදි හදුනා ගත හැකි වන්නේ ශාකයේ භෞතික ගුණාංගයන්ගෙන් පමණක් වන නිසා වැල්මි වල ‍ භෞතික ස්වරූපය අදාල ලක්ෂණ සොයා බැලීම වටි.  අඩි 4-5ක් පමණ උසට වැඩෙන පදුරු ශාකයක් වන වැල්මී ශාකයේ අඩි 2-4ක් පමණ වූ දිගු අතු විහිදෙන බහු ශාකා වලින් යුත් අතර බහු වාර්ෂික ශාකයක් ලෙස වර්ග කර ඇත. වැල්මී ශාකයේ ව්‍යාප්තිය අනූව ගත් කල වඩාත් වැඩියෙන් මෙම ශාකයේ ඖෂධීය ගුණ හදුනා ගන්නා සහ  භාවිතයට ගන්නා ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව තුල වැල්මි සුලබව හමු නොවීම සුවිශේෂි කරුණකි.  ලංකාව තුල නම් වැල්මී නැති තරම්ය පැවසීම සත්‍යයට ‍‍‍බොහෝ අසන්නය

වැල්මී ස්වදේශිය ශාකයක් ලෙස සැලකෙනුයේ දකුණු යුරෝපයේ ග්‍රීසිය, මිසරය, අරාබිය, තුර්කිය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල සහ ජර්මනිය, රුසියාව සහ චීනය වැනි යුරෝපීය සහ නැගෙනහිර ආසියාතික රටවල් තුල පමණි. ඉන්දියාවේ පංජාබ්, සිංධි හා පේශාවොර් යන ප්‍රදේශවල සහ පාකිස්ථානයේද තරමක්  දුරට වැල්මී වැවෙන බව හදුනා ගෙන ඇති මුත් ඒවා සුදුසු තත්ත්වයෙන් සහ අවශ්‍ය ප්‍රමිතියට නොමැති බව පිළිගැනීමයි. බහුල ලෙස වනගතව වැවෙන ශාකයක් ලෙස දැකගත හැකිවන නමුත් වැවිලි ආර්ථික බෝගයක් ලෙස අපනයනය කිරීමටද බොහෝ රටවල් පෙළඹී සිටින්නේ එහි ආර්ථික සහ ඖෂධීය වටිනාකම වැඩි නිසාවෙනි. ලිකරික්ස් එක්ස්ට්‍රැක්ට්/ Extract Glacyrrhiza Liquid (වැල්මි ඝනසාරය) ඖෂධ සදහා භාවිතා කරණ ගුණ කැටිවූ කොටස ලෙස හදුනාගෙන ඇත.

හොදම වැල්මී

මිසර වැල්මී, අරාබි වැල්මී සහ තුර්කි වැල්මී ලෙස වැල්මී උත්පත්තිය අනූව ප්‍රභේද තුනක් ඇත. මෙයින් මිසර වැල්මී ශ්‍රේෂ්ඨ යැයිද අරාබි වැල්මී මධ්‍යම යැයිද තුර්කි වැල්මී අධම යැයිද ආයුර්වේදයේ දක්වා ඇත. තවද මිසර සහ අරාබි වැල්මී මධුර/මිහිරි රසයෙන් අග්‍ර යැයිද සැලකේ. බොහෝවිට මෙරට වෙළද පොලේ ඇති පංජාබ් හා සින්දු දේශිය වැල්මී ගුණයෙන් පහත් යැයි පිළිගැනේ. මීට අමතරව ජල බහුල ප්‍රදේශ වල වැවෙන (ආනූප දේශජාත වැල්මී) සහ ජලය හිග වැලි සහිත ප්‍රදේශ වල වැවෙන (මරුදේශජාත වැල්මී) ලෙස වැල්මී ප්‍රභේද දෙකක් පිළිබඳවද විස්තර ඇත. එහෙත් එය ව්‍යවහාරයේදී ප්‍රභල ලෙස සැලකිල්ලට භාජනය නොවන වර්ගීකරණයකි.

ඖෂධ මිලදී ගැනීමට ගිය විට වැල්මී ලෙස පාරිභෝගිකයාට ලැබෙනුයේ පොත්ත ඉවත් කර කපා වියලන ලද මුල් සහ පොළවට යටවූ දඩු කොටස්ය. කෙදී සහිත දඩු කැබලි ලෙස ඇති කොටස සැපීමේදී මුවට ප්‍රණිත මධුර රසක් දැනීම වැල්මී හදුනාගැනීමට ඇති ප්‍රමුඛ ලක්ෂණයයි . වැල්මී මුවේ ඇති දුර්ගන්ධය ඉවත් කර ගැනීමටත් කටහඩේ ගොරෝසු බව දුරුකර ගැනීමටත් සමහරුන් විසින් නිරන්තරයෙන් සැපීමට පුරුදු වි ඇත. ඒහි ඇති සත්‍ය අසත්‍ය තාවය  පිළිබඳව සහ ආයුර්වේද මත අනුකූලව වැල්මි වල ගුණ පිළිබද තොරතුරු වැඩි දුරටත් ඉදිරියේදි මෙම ලිපිය තුල සාකච්ඡා  කෙරෙනු ඇත.

කෙසේ නමුත් වැල්මී වල ග්ලිසීරයිසීන් නැමති ක්‍රියාකාරී උපදානය අන්තර්ගත යැයි සිදුකරන ලද බටහිර විද්‍යාත්මක විශ්ලේෂණයන්ගෙන් තහවුරු වී ඇත. ඊට අමතරව ද්‍රාක්ෂා ශර්‍කරා දුම්මල, පිෂ්ඨ, මැලික් අම්ල, කැල්සියම්, මැග්නීසීයම් සහ නොයෙකුත් ලවණ වර්ග විවිධ සුළු මාත්‍රාවන්‍ගෙන් යුක්ත යැයිද වැඩිදුරටත් සොයා‍ගෙන ඇත. වැල්මී වල ඇති ගුණයන් තෙත වායුවට නිරාවරණය වීමෙන් හානි වන බව සොයා‍ගෙන ඇත. එබැවින් කපා හොදින් හා සම්පූර්ණයෙන්ම වියලා වියළි ගබඩා තුල තෙත වාතය නොවදින රුද්ධ භාජනායන්හි මෙම ද්‍රව්‍ය තැන්පත් කර තැබීම සිදුවේ. එය වැල්මී වල ගුණ නොනෑසි රැක ගැනීමට අනිවාර්යයෙන්ම අනුගමණය කල යුතු ක්‍රියාපටිපාටිය ලෙස දක්වා ඇත..

තිරිහන් කරන වැල්මි

චීන වෛද්‍ය ක්‍රමය තුල වැල්මී පළමු පන්තියේ උසස් ඖෂධයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත. රසායන ගුණයෙන් හා ජරා ව්‍යාධි නසන ගුණයෙන් යුක්ත අනර්ඝ ඔසුවක් ලෙස චීන වෙදකම තුල වැල්මී ගැන සටහන්වී ඇත. ජරාව යනු වයසට යාමයි. ව්‍යාධි යනු විවිධ රෝගාබාධ වලට ලක්වීමයි. මෙම තත්ත්වයන් දෙක මගහැරීමට හෝ ප්‍රමාද කිරීමට සමත් වීම වැල්මී වලින් සිදුවන බව ඔවුන්‍ගේ විශ්වාසයයි. මෙම ගුණ වලට අමතරව තවත්  බොහෝ ගුණ ආයුර්වේදයේ විස්තර කර ඇත.

ආයුර්වේදිය මතය අනූව ගත් කලද වැල්මී විවිධ ගුණ කර්ම සතු ඖෂධයක් ලෙස හදුනා‍‍ගෙන ඇත. මේ පිළිබඳව හොදින්ම සටහන් වන්නේ චරක සංහිතාවෙහිය. එහි සූත්‍රස්ථාන හතරවැනි (ශඩ්විරේචන ශතාශ්‍රිතීය අධ්‍යායය) අධ්‍යායය තුළ දක්වා ඇති මහා කෂාය පනහක් සහ එම කෂාය වලින් සිදුවන්නේයැයි විශ්වාස කරන යම් ක්‍රියාවන් පනහක් පිළිබඳව විස්තර අතර ස්ථාන කිහිපයකම වැල්මී යන නම සදහන් වී ඇත. එහි වැල්මී ජීවනීය, සන්ධානීය, වර්ණ්‍ය,  කණ්ඨ්‍ය, කණ්ඩුඝ්න, ස්නේහෝ‍පග, වමනෝපග, ආස්ථාපනෝපග, ජර්දි නිග්‍රහණ, පුරීෂ විරජනීය, මුත්‍ර විරජනීය, දාහ ප්‍රශමන, අංග මර්ද ප්‍රශමන, ශ්‍රෝනිත ස්ථාපන යන ගුණ වලින්ද යුක්ත ද්‍රව්‍යයක් ලෙස දක්වා ඇත.

යම් ද්‍රව්‍යක් මගින් යමෙකු‍ගේ ජීවිතය හෙවත් ආයුෂය නොනැසි පවත්වා ගන්නා අතරම වැඩි දියුණු කිරමක්ද සිදුවන්නේ නම් එවා ජීවනීය ද්‍රව්‍ය ලෙස සරලව දැක්විය හැක. එහෙත් ආහාර පාන ඇතුළු ජීවත් වීමේදි අප ප්‍රයෝජනයට ගන්නා සියල්ලක්ම ජීවනීය ද්‍රව්‍ය ලෙස සැලකිය යුතු නොවේ. බොහෝ ද්‍රව්‍ය සතුව විවිධ මට්ටම්  වලින් උක්ත කාර්යය සාධනය කර ගැනීමට අවශ්‍ය ශක්‍යතාවය සතුව ඇත. එනමුත් සැබෑ ජීවනීය ද්‍රව්‍ය ලෙස සැලකෙන්නේ යම් ද්‍රව්‍යක අල්ප මාත්‍රාවෙන් වුවද ජීවධාරණ ශක්තිය අධිකව කේන්ද්‍රව ගතව පවතින්නේ නම් එවැනි ද්‍රව්‍යයන්ය. ජීවනීය ද්‍රව්‍ය  අතර කිරි ශේෂ්ඨ යැයි දක්වන අතරම චරක විසින් වැල්මී ඇතුළු ද්‍රව්‍ය දහයක් ජීවනීය ගුණ යුක්ත ද්‍රව්‍ය(ආයුවර්ධන) ලෙස හදුනා‍ගෙන දක්වා තිබේ.

සන්ධානීය ගුණය නම් විශේෂයෙන්ම බිඳුණු ඇට පෑස්සීමේ හැකියාවයි. ආයුර්වේදය පිළිගන්නේ යම් යම් ද්‍රව්‍ය සතුව මෙම සන්ධානීය/ සන්ධාන ගුණය සා‍ප  වශයෙන්  වැඩයෙන් අන්තර්ගත බවයි. එවැනි ද්‍රව්‍යයක් ලෙස වැල්මීද චරක විසින් පිළිගෙන තිබේ. වැල්මී වල ශරීර වර්ණය ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමේ හැකියාවක් ඇත. විශේෂයෙන් යම් යම් රෝග නිසා ශරීරයේ වර්ණය/පැහැය වෙනස් වීමෙන් පසු නැවතත් ප්‍රකෘති වර්ණය අත්කර දීමට යම් ද්‍රව්‍යයක් සතු ගුණය වර්ණ්‍ය, වර්ණ ප්‍රසාධන යනුවෙන් දක්වා ඇත. ‍  බොහෝ දෙනා දන්නේ එසේම ප්‍රායෝගිකව බහුල වශයෙන් වැල්මී යොදා‍ගන්නා හේතුවක් ලෙස දැක්විය හැකි ගුණයක් වන්නේ  කණ්ඨ්‍ය ගුණයයි. එහෙත් කණ්ඨ්‍ය යැයි කියූ පමණින් දන්නේ අතලොස්සකි. නමුත් ස්වරයට හිතකාරී/ස්වර්ය යනුවෙන් කියූ විට කවුරුත් මෙය තේරූම් ගනිති. ස්වරාලය/කණ්ඨ්‍ය ස්වරය කටහඬ උපදවන ස්ථානයයි. වැල්මී වලින් මෙම ස්ථානයේ තත්ත්වය යහපත් කරනු ලැබේ. තවද ඛණ්ඨයේ හට ගන්නා පිඩාද නැසීමේ ශක්‍යතාවයක් වැල්මී සතුවේ.

අභ්‍යන්තර සහ බාහිර හේතුන් නිසා ශරීරයේ මතුපිට ඇතිවන කැසීම් වලින් ‍බොහෝ දෙනා අපහසුතාවයන්ට පත්වේ. මේ සදහා කණ්ඩුඝ්න ද්‍රව්‍ය හදුන්වා දී ඇත්තේ එසේ සිදුවන කැසීම් සදහා ප්‍රතිකාර වශයෙන් යොදා ගැනීමටයි. වැල්මීද හොද කණ්ඩු පිළිගැනේ. පංචකර්‍ම ප්‍රතිකාරයේදී පූර්ව කර්‍ම ලෙස සිදුකරන ස්නේහ කර්‍ම පිළි ඔබ දැනුවත් ඇතැයි සිතමු. සමහර රෝග සඳහාද ප්‍රතිකාරයේදී ශරීරයේ ස්නේහ  ස්වභාවය කෙරෙහි සැලකිළිමත් වේ. එබඳු අවස්ථාවන්හිදී ශරීරයේ ස්නේහ ශක්තිය වැඩිකර ගැනීමට ඇතැම් ඖෂධ ද්‍රව්‍ය ඝෘත වැනි දේ සමග එක්කොට රෝගීයාට බොන්නට දෙනු ලැ‍බේ. ඒ සඳහා යොදා ගන්නා ඖෂධ ද්‍රව්‍ය(ඝෘතද ඇතුළුව) ස්නේහෝපග ද්‍රව්‍ය ලෙස පිළිගැනේ. අප‍ගේ අවධානයට යොමුවූ වැල්මී ද ස්නේහ කර්ම සදහා යොදා ගන්නා සක්‍රීය ඖෂධයකි.

එකම ක්‍රියාවක් සදහා එකිනෙකට වෙනස් ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල දෙකක් ලබා දීමේ සුවිශේෂි හැකියාවක් වැල්මී සතුව ඇත. එම ගුණ දෙක පමණක් වුවද වැල්මී වල විශිෂ්ඨත්වය උපරී කිරීමට ප්‍රමානවත් වනු ඇත. වමනෝපග සහ ජර්දිනිග්‍රහණ යන ගුණ දෙක ආයුර්වේදයේ දැක්වෙන එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් වේ. වැල්මී වමන ක්‍රියාවට සහය දෙන අතරේ වමන ක්‍රියාව වර්ධනය කිරීමද සිදුකරයි. ඒ වැල්මී සතු වමනෝපග ගුණය හේතුවෙනි. එසේම වමනය ඇතිවීමට මුල් වන දෝෂයන් සමනය කර වමනය නැවැත්වීමටද වැල්මී වලට හැකිය. ඒ වැල්මී සතු පර්දි නිග්‍රහන ගුණය නිසාවෙනි. මෙය සුවිශේෂි අවස්ථාවකි. මෙය පිළිගැනීම කෙනෙකුට අසීරු විය හැකි වුවත් ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥානය විෂයේ එන ප්‍රභාව නැමති සංකල් තුලින් එය පැහැදිලි කර ඇති බව මෙහිදි සටහන් කර තබන්නෙමු. න්‍යායන් තුල කුමන අයුරකින් සදහන් වුවත් ප්‍රායෝගික භාවිතයේදි වෙනස් ප්‍රතිඵල ලබාදෙන්නේ නම් එවැනි තත්ත්වයන් විස්තර කරනුයේ ප්‍රභාව නැමති සංකල්පය භාවිතයෙනි.

ඖෂධීය කෂාය වතුර මගින් වස්ති කිරීම නිරූහ වස්ති ලෙස ආයුර්වේද පංච කර්‍ම චිකිත්සාවේ දක්වා ඇත. එය කෂාය සෑදීම සදහා යොදා ගත යුතු ද්‍රව්‍ය ආස්ථාපනෝපග ද්‍රව්‍ය ලෙස හැදින්වේ. වැල්මි යනු එම කෂාය සෑදීමට යෝග්‍ය ආස්ථාපනෝපග ගුණය බහුල ඖෂධයක් ලෙස දක්වා ති‍බේ. විවිධ හේතුන් නිසා දෝෂයන් දූෂිත වීමෙන් මුත්‍රා(Urine) හා පුරීෂ/මල(Stools) වල පැහැය වෙනස් වීම සිදුවේ. මෙම තත්ත්වය නිවැරදි කොට මුත්‍රා හා පුරීෂ වල වර්ණයන් ස්වභාව වර්ණයන්ට හරවන ගුණය මල/පූරීෂ විරං වැල්මී මෙම මුත්‍රාවල සහ මලවල විකෘතිතාවයන් සාධනය කොට ස්වාභාවිකත්වයට පත්කිරීමට සමත් ගුණ යුක්ත ද්‍රව්‍යයක් ලෙස පිළිගැනේ. ශරීරයේ දාහය/දැවිල්ල ඇතිවූ විට එය සංසිදවීමේ ශක්‍යතාවය ඇති ද්‍රව්‍ය වලට දාහප්‍රශමන ද්‍රව්‍ය යැයි කියනු ලැ‍බේ. මෙය නිර්වාපණය ලෙසද ආයුර්වේදයේ සදහන් වන අතර වැල්මී සතුව  නිර්වාපණ/දාහශමන ගුණයද අන්තර්ගත බව චරකයේ දැක්වේ.

අධිකව කය වෙහෙසවා වැඩකිරීමෙන් ඇතිවන මහන්සියෙන් ශරීරයට දැනෙන්නාවු තෙහෙට්ටුව ඇඟපත ‍පොඩි කර දැමීම යනුවෙන් විවහාරයේ ඇත. එසේම ශරීරය දුර්වල කරන්නාවු රෝග තත්ත්වයක් ඇතිවුණු කල්හිද විද්‍යමාන වන අපහසුවකි. වැල්මි මෙවැනි තත්ත්වයන්‍ගෙන් පීඩිත වූවන්ට සහනය ‍ගෙනඒමට සමත් අංගමර්ද ප්‍රශමන ගුණය සහිත ඔසුවක් ලෙසද ක්‍රියාත්මක වේ. දෝෂයන්‍ගේ දූෂණය වීමෙන් රක්තයද දුෂණය වී එය ස්වාභාවික තත්ත්වයෙන් අපගමනය වී විවිධ රෝගාබාධයන්ට කරණ වේ. එසේම අධික ලෙස රක්තය බැහැර වීමද මේ නිසා සිදුවිය හැක. මෙම තත්ත්වයන් වලක්වා ශ්‍රෝණිත ස්ථාපන/ රුධිර සංස්ථාපන කිරීම කලහැකි ද්‍රව්‍යයක් ලෙස වැල්මී කීර්තියක් අත්කර‍ ගෙන ති‍බේ.  ශ්‍රෝණිත ස්ථාපනය යන්නට අර්ථයන් කිහිපයක් ඇති අතර අපවිත්‍ර රක්තය පවිත්‍ර කිරීම, රක්ත ස්ථාම්භනය ඇති කිරීම සහ රක්තය වර්ධනය කිරීම යන ඒවා එම අර්ථයන්ය.

ඉහත දැක්වූයේ චරක සංහිතාවේ එක් කොටසක පමණක් වැල්මී ගැන සටහන්වී ඇති කරණු පමණකි. මීට අමතරව වැල්මී සම්බන්ධයෙන් වෙනත් ග්‍රන්ථ වලද විවිධ තොරතුරු ඇතුලත් කර ඇත. ‍බොහෝ කෂාය වට්ටෝරු වල වැල්මි අන්තර්ගත කර ඇත.

වැල්මී ඇසට හිත (චක්ශුෂ්‍යය) ද්‍රව්‍යයක් ලෙස පිළිගැනේ. එසේම ශුක්‍ර ධාතුව වඩන ශරීර සොබාව වැඩි දියුණු කරණ ද්‍රව්‍යයක් ලෙස දක්වා ඇත. වැල්මී තැම්බ ජලය නොයෙක් ආකාරයේ උගුරේ ආසාධන වලට යොදාගත හැකි ඖෂධීය පානයක් ලෙස ප්‍රචලිතය. අභ්‍යන්තර රක්ත ස්‍රාවයන්ට (ඌර්ධව හා අධෝමාර්ග වලින්) ප්‍රතිකාර සදහා යොදාගැනේ. මුත්‍ර‍ ශෝධන ගුණයක් ඇති බැවින් විවිධ මුත්‍රාබාධ වලට ප්‍රතිකාරයේදී යොදා ගැනේ. මෘදු විරේකයක් ලෙස ප්‍රචලිත වැල්මී තියුණු විරේක ‍බෙහෙත් නොදිය යුතු අයට විශේෂයෙන් ගැබිණි මවුවරුන්ට සහ දුර්වල ශරීර ඇත්තවුන්ට විරේක කර්මය සිදු කිරීමට යොදන කෂාය වලට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස චිර ප්‍රසිද්ධය.

වැල්මී ද්‍රව්‍ය ගුණ විඥානයට අනූව මධුර රස ඇති විපාකයෙන්ද මධුර වූ ශීත වීර්යය සහිත ද්‍රව්‍යක් ලෙස ආයුර්වේද මූලග්‍රන්ථ වල සදහන්ය.

වැල්මී ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් හොදින් නොවැඩෙන ඖෂධ ශාකයක් වන බැවින්  වැල්මී නොමැති විටකදී ඒ වෙනුවට යොදාගැනීමට නිර්දේශ කර ඇති ඖෂධය වන්නේ ඔලිඳ යි. සංස්කෘත භාෂාවෙන් ‘ගුඤ්ජා’ යන නාමයෙන් ප්‍රචලිත ඔලිඳ වල රතු ඔලිඳ සහ එල ඔලිඳ යන විශේෂ දෙක ඖෂධ සදහා බහුලව යොදා ගැනේ. මේවා ඉංදියාවේත් ශ්‍රී ලංකාවේත් සුලබව දැකගත හැකි හොදින් වැඩෙන පැළෑටියකි. වැල්මී වල ගුණ වලට සමානවම ගුණ රහිත වුවත් වැල්මී වල ගුණ වලට ඉතා ආසන්නයෙන් යන ගුණ ඇත්තේ ඔලිඳ වල බැවින් මෙය ‍බහෝ ඖෂධ යොගයන්ට යොදා ගැනිම සිදුවේ. කෙසේ නමුත් වැල්මී යනු තවදුරටත් විශිෂ්ඨතම ඔසුවක්ය යන පිළිගැනීමට අභියොගයක් වීමට කිසිම ද්‍රව්‍යකට හැකි වන්නේ නම් නැති බව පැහැදිලිය.