මෙම මාතෘකාව ඔස්සේම මිට පෙරද ලිපියක් පල කර ඇති අතර එහි දිගුවක් නැතිනම් එයට එකතු කරන ලද අමතර කොටසක් ලෙස මෙම ලිපිය හැදින්විය හැකිය. ආයුර්වේදය හැදෑරීම සිදුකරනා අයට සේම ආයුර්වේදය යනු කුමක්දැයි සොයනා නිරන්තරයෙන්ම නොනිම් කුතුහලයකින් පසුවන දැනුම් පිපාසිතයන්ටද උපකාරයක් වශයෙන් මෙම ලිපිය එකතු කරනු ලබන්නේ ආයුර්වේද මුලධර්ම සහ සංකල්ප යටතේය.
“දධාති ධාත්තේ වා ශරීර මන ප්රාේණාන් ඉති ධාතුඃ”
යනුවෙන් මුල ග්රන්ථ වල දක්වා ඇත්තේ මෙම ධාතු සම්බන්ධයෙනි. ඉහත ශ්ලෝක පාඨයේ අර්ථය වන්නේ ශරිරය මනස සහ ප්‍රාණය යම් කිසිවකින් දරා සිටිද එය ධාතු යන්නයි. සරලවම පවසන්නේ නම් ශරීර ආකෘතිය පවත්වා ගැනීම සහ එහි පෝෂණය නිසි පරිදි සිදුවන්නේ ධාතු නිසාවෙනි. ධාතු හතක් ගැන ආයුර්වේදයේ දැක්වේ.
• රස ධාතුව
• රක්ත ධාතුව
• මාංශ ධාතුව
• මේදෝ ධාතුව
• අස්ථි ධාතුව
• මජ්ජා ධාතුව
• ශුක්‍ර ධාතුව
රස ධාතුව
අප ගනු ලබන්නා වු ආහාර නිසි පරිදි දිරවීමෙන් පසු සිරුරට උරා ගන්නා සාරවත් කොටසින් මෙම රස ධාතුව නිර්මාණය වේ. රස ධාතුව බවට පරිනත වන ක්‍රියාවලිය අක්මාවේදි සිදුවුවත් රස ධාතුවේ නිවාස ස්ථානය හෘදය යැයි ආයුර්වේදයේ පිළිගැනීමයි. හෘදයේ සිට ධමනි මගින් මුළු සිරුරේම ගමන් කරන රස ධාතුව අනෙක් සියලු ම ධාතුන් ද පෝෂණය කරයි.
මිනිස් සිරුරේ වර්ධනය, පුෂ්ටිමත් බව, සිනිඳු බව, දරා සිටිම, පෝෂණය, ජීවනය, සන්තුෂ්ටිය, පිනවීම, රුධිර පෝෂණය යන මේවා රස ධාතුවට අයත් ක්‍රියාවන් ලෙස ආයුර්වේදයේ දක්වා ඇත. මවුකිරි යනු රස ධාතුවේ උප ධාතුවකි.
රස ධාතුවේ පෝෂණ දුර්වලතා නිසා හෝ එහි අධික පෝෂණය නිසා හෝ මෙම ධාතුව ගමන් කරන කාල වල විෂමතා නිසා හෝ රස ධාතුව දූෂ්යල වීමෙන් රෝග උපදවයි. එනම් අග්නිය හෙවත් කුසගින්නේ වෙනස් වීම, හෘදය වස්තුවේ රෝග, සංධි වල රෝග, අජීර්ණ, උණ, නීරක්තිය, කෙට්ටුවීම, අකලට කෙස් පැසීම ආදී තත්ත්වයන් රස ධාතුව දූෂ්‍ය වීමෙන් හටගන්නා රෝගයෝ යි.
රක්තධාතුව
පෙර සඳහන් කල ආකාරයටම රක්ත ධාතුව පෝෂණය වන්නේ රස ධාතුවෙනි. සප්ත ධාතු අතර රක්ත ධාතුවට හෙවත්, රුධිරයට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි. රක්තය ප්‍රාණය හා සමාන වන බව ආයුර්වේදයේ දැක්වේ.
ශරීරයේ සියලුම කාර්යයන් සඳහා ශක්තිය රුධිරයෙන් ලබන බවත් එය ශරීර වර්ධනයට උපකාර වන බවත් එනිසා රක්තය උත්සහයෙන් ආරක්ෂා කර ගත යුතු බවත් ආයුර්වේදයේ තවත් මතයකි.
එනිසා රක්ත දෝෂයට සමාන ස්ථානයක් රක්ත ධාතුවටද හිමි වේ. අක්මාව හා ප්ලීහාවේ නිර්මාණය වන රක්තයට ඇට මිදුළු තුළ පවතින රක්ත වර්ණ මජ්ජා කොටසින් වර්ණ ලබා දෙන බව ආයුර්වේදයේ සඳහන් වේ. රක්ත ධාතුවේ කාර්යයන් සලකා බැලිමේදී ජීවත් කරවීම, ශරීර පැහැය, මාංශ පේශීවල පුෂ්ටිය, ස්පර්ශය, ස්ඵන්දනය යන වැදගත් කාර්යයන් ඉන් ඉටුවන බව පැහැදිලි වේ. පිරිසිදු රක්තයේ වර්ණය සමාන කර දක්වා ඇත්තේ, රත් නෙළුම්, රතී’ඳු ගොව්වන්, පිරිසිදු රත්රන්, ඔළිඳ ඇට, ලාකඩ යන මේවායේ වර්ණයට ය.
රක්ත ධාතුව දූෂණය විමෙන් නොයෙකුත් රෝග හටගනී. එය දූෂණය වන්නේ වැටීම්, තැලීම්, මනස කුපිත කරවන හේතු, පිත් දෝෂය කෝප වීමේදී දක්වන ලද හේතු සහ නොයෙකුත් ලුණු ඇඹුල් රසැති සහ උෂ්ණ වීර්යය ඇති ආහාරපාන ගැනීම ආදී හේතු නිසා ය.
අප ගන්නා අබ, අච්චාරු, මිරිස් බහුල ආහාර, ගවමස්, ගොනමස්, දැල්ලන්, ඉස්සන්, කකුළුවන්, බලමාළු, තක්කාලි, සුරා වර්ග ආදීය එයට උදාහරණයන්ය. රක්තවාහී ස්රෝුතස් යනුවෙන් දැක්වෙන රක්තය ශරීරය පුරා ගෙනයන රුධිර නාලවල විෂමතාවන් ද රක්ත රෝග ඇති කිරීමට ඉවහල් වේ. දුෂිත රක්තයෙන් හට ගන්නා රෝග නම් කැසීම, පිඩකා, ගඩු, කුෂ්ඨ රෝග, කට දෙකොන පැලීම සහ මුඛ තුවාල, වාත රක්ත, මුඛ දුගඳ බව, හිසේ රෝග, කුරුලෑ, මුඛය, ගුදය ආදියෙන් රුධිරය පිටවන රෝගයන් ය. කණ්ඩරා සහ සිරා රක්තයේ උපධාතු වශයෙන් සැළකේ.
මාංශ ධාතුව
ශරීරයේ හැඩය ගැන්වීමට උපකාර වන්නේ මාංශ ධාතුවයි. අස්ථි වලින් නිර්මාණය වූ ශරීර සැකිල්ල මාංශ පේශින්ගේ එක්තරා සුවිශේෂ ආකාරයකට හැඩගැන්වී ඇත. ශරීරයේ ඉලය සහ බර බව ඇති කිරීමත්, ඊළඟ ධාතුව වන මේදෝ ධාතුව පෝෂණය කිරීමත් මෙහි ප්‍රධාන කාර්යයන්ය. ඇවිදීම, නැගිටීම, හිඳ ගැනීම, ආහාර ගැනීම, කථා කිරීම, සන්ධි නැවීම, දිග හැරීම ආදී කාර්යාවනට මාංශ පේශී සහය වේ. ශරීරයේ පවතින ශිරා, ස්නායු, අස්ථි, සන්ධි, මාංශ පේශි වලින් වැසී පවති. මාංශ පේශි කොන් අස්ථි වලට බැඳී ඒවා දරා සිටියි. අප ගන්නා අහාරපාන ආදියේ අන්තර්ගත මාංශ වර්ධක කොටස්වල අඩු වැඩි වීම අනූව මාංශ ධාතුවේ අඩුවැඩි වීම සිදු වේ.
මාංශ පෝෂණය සම්බන්ධ ඒවායේ නල මාර්ග (ස්‍රෝතස්) වල විෂමතා නිසා ද මාංශ ධාතුවේ විෂමතා ඇතිවිය හැක. මේ හේතු මාංශ ධාතුවේ රෝග උපදවයි. ශරීරයේ හට ගන්නා පිඩකා, ගෙඩි, ගලගණ්ඩ ආදී මාංශ ධාතුව විෂම වීමෙන් හටගන්නා රෝගයන් ය. වසා සහ සම මාංශ ධාතුවේ උප ධාතුන් ය.
මේදෝ ධාතුව
මේදය යනු ශරීරයේ පවතින තෙල් කොටස වේ. සමට ඇතුළතින් මාංශයේ සහ මාංශයෙන් පිටත ආවරණයක් සේ මේදය පවති. මාංශ පේශි අතර පවතින විට ‘වසා’ නමින් හැඳින්වේ. සෑම ප්‍රාණියෙකුගේ ම උදර ප්‍රදේශයේ සහ නිතඹවල ද, කුඩා අස්ථිවල ද මේදය ඇත. මහ අස්ථි කුහර තුළ ඇත්තේ මජ්ජාව (මිදුලු) ය. මෙදො ධාතුව පෝෂණය වන්නේ මාංශ ධාතුවෙනි. ඩහදිය ඇති කිරීම, සිරුරේ තෙල් ගතිය පවත්වා ගැනීම, එහි මෘදු බව, දැඩි බව, මෙදෝ ධාතුවේ කාර්යයන් ය. මොදෝ ධාතුව අඩු වූ විට මේ ක්‍රියාවන්ගේ අඩු වීමද සිදුවේ.
එහි අඩු වැඩි වීමට හේතු වන්නේත් මීට පෙර දැක්වූ ධාතුන්ගේ මෙන් අප ගන්නා ආහාරපාන වල අන්තර්ගත මේද කොටස් වල අඩු වැඩි වීම ය. ශරීරය නොවෙහෙසා සිටීම, දහවල් නිදීම, තෙල් අධික ආහාර ගැනීම, මේදෝවහ නල මාර්ග (ස්‍රෝතස්) වල රෝග තත්ත්වය නිසා මේද රෝග ඇති වේ.
සිරුර අතිශයින් තරවීම දියවැඩියා, හෘද රෝග ආදිය මේදෝ ධාතුව විෂම වීමෙන් හටගන්නා රෝග කිහිපයකි.
අස්ථි ධාතුව
ගසක අරටුව මෙන් සිරුරෙහි පැවැත්මට අස්ථි ධාතුව නැමති හරය උපකාරි වේ. ශරීරය දරා සිටින්නේ අස්ථි ධාතුවෙනි. අස්ථි යනු ශරීරයේ පවතින ඝන කොටසයි. තරුණාස්ථි(කාටිලේජ), දත්, නිය, ආදියද අස්ථි වලට අයත් වෙනත් කොටස් සේ සැලකේ. මාංශපේශි අස්ථි වලට බැදී පවති. අස්ථි ධාතුව මේදෝ ධාතුවෙන් පෝෂණය වේ. අස්ථි රෝග හටගන්නේ එයට අවශ්‍ය පෝෂණ පදාර්ථ අඩුවීමෙන්, වැටීම්, තැලිම් හේතුවෙන් සහ අස්ථි පෝෂණය වන නල මාර්ග (ස්‍රෝතස්) වල විෂමතා නිසාය. ඇට දිරාපත් වීම, සන්ධි රෝග, දත්වල දිරා යාම, ඇට කැඩීම, බිඳීම අස්ථි රෝගයන්ය.
මජ්ජා ධාතුව
මජ්ජා ධාතුව අස්ථි කුහර වල පවති. දිග කුහර සහිත ඇට තුල කහ පැහැති මජ්ජාවත්(පීත වර්ණ මජ්ජා) පපු ඇටය වැනි පැතලි අස්ථි වල රතු පැහැති මජ්ජාවත් (රක්ත වර්ණ මජ්ජා) පවති.
පීත වර්ණ මජ්ජාව මජ්ජා ධාතුවයි. රක්ත වර්ණ මජ්ජාව රක්ත ධාතු නිර්මාණය කිරීමේ මුල් අවස්ථාවයි. සිරුරේ තෙල් ගතිය සහ බලය පවත්වා ගැනීම, ශුක්රජ ධාතු පෝෂණය අස්ථි පුරවා තැබීම මජ්ජා ධාතුවට අයත් කාර්යයන්ය. මීට ඉහත ධාතු විස්තර කිරීමේදී දැක්වූ පරිදි මජ්ජාව පෝෂණයට අවශ්‍යම කොටස් වල අඩු වැඩි විමෙන් සහ මජ්ජා ගෙන යන නල මාර්ග වල දෝෂ නිසා මජ්ජා ධාතුවේ රෝග හට ගනී. සෙම් වඩන ආහාර පාන, අතිශයින් කැළඹිම, තෙරපීම නිසා මජ්ජා ධාතු දූෂණය වේ. සන්ධි වේදනා, ශ්‍රම මුර්ජා, සන්ධි ඉදිමුම, මජ්ජා ධාතු විෂම වීමෙන් හට ගන්නා රෝගයන්ය.
ශුක්‍ර ධාතුව
රක්ත ධාතුව හා සමාන ප්‍රධාන තැනක් ශුක්‍ර ධාතුවට ද හිමිවේ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම බලපවත්නා ධාතුව මෙයයි. රස රක්තාදි ධාතුන්ගෙන් ශුක්‍ර ධාතුව පෝෂණය වේ. සැප දුක දෙකේ දීම නොවෙනස් ව සිටිමේ ශක්තිය, ශූරතාවය, නිර්භයතාවය, දරුවන් ඉපැදවීමේ ශක්තිය, උත්සහය යන මේවා ශුක්‍ර ධාතුවට අයත් කාර්යයන්ය.
ශුක්‍ර ධාතුව පෝෂණයේ දුබලතා සහ ඊට අයත් නල මාර්ගයන්ගේ විෂමතා නිසා එහි රෝග හටගනී. ඉහත දැක්වු ශුක්‍ර ධාතුවේ කාර්යයන් මනාව ඉටු නොවීම එහි රෝග වශයෙන් සැළකේ.
දරුවන් නොලැබීම, ජනනේන්ද්‍රි ය ගත රෝග ශුක්‍රෙ ධාතුවේ දුබලතා නිසා ඇතිවේ.
සප්ත ධාතුන්ගේම මනා ගොඩනැංවීමට පෝෂ්‍යදායි ආහාර වෙලක අවශ්‍යතාවය අත්‍යාවශ්‍ය බව අවසාන වරටත් මතක් කර සිටිමු.