පසුගිය වසර කිහිපයක සිට සමස්ත සෞඛ්‍යය සේවාව තුල පමණක් නොව දේශපාලන කරළිය තුලද දැඩි කතාබහක් නැතිනම් ආන්දෝලනයක් ඇතිකල මාතෘකාවක් වී නම් ඒ අන් කවරක්වත් නොව “මාරන්තික ඩෙංගු වසංගතය” පිළිබද වු අර්බුදය බව අවිවාදිතය. සාමාන්‍යයෙන් අප විසින් මෙම අන්තර්ජාල අවකාශය තුල සාකච්ඡා කෙරෙනුයේ ආයුර්වේද දර්ශනය, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය,දේශිය වෛද්‍ය ක්‍රමය යන අංශ පිළීබදව වු තොරතුරු හා ඒහා බැදුනු අවශේෂ කරුණු ඇතුලත් සමස්ත විෂය පථය පමණක් වුවත් අති සුවිශේෂි කරුණක්/අවස්ථාවක් ලෙස සලකා මේ අවස්ථාවේදී ඩෙංගු රෝගය සම්බන්ධයෙන් යම් දැනුවත් කිරිමක් සිදුකිරිමට අපේක්ෂා කරන්නෙමු. එය අපගේ සමාජ වගකීමක් ලෙස අප උදක්ම විශ්වාස කරනා බැවිනි. එසේ අප සිතනුයේ මේ වන විටත් ඩෙංගු රෝගයට ගොදුරු වි සිටින හා ගොදුරු විය හැකි අවධාණමක් ඇති අති බහුතර ජනතාවක් සමාජය තුල සිටිනා බැවිනි. රජයේ සංඛ්‍යා ලේඛන වල සදහන් වන දත්ත වලට අනූව පෙර වර්ෂ වලට සාපේක්ෂව මේ වන විට ඉතා සුළු ප්‍රතිශතයකින් ඩෙංගු රෝගයට ගොදුරු විමේ සිඝ්‍රතාවය අඩුවක් පෙන්වන නමුත් එය කිසි සේත්ම සැහීමකට පත් විය හැකි තත්ත්වයක් නොවේ. එසේ පවසනුයේ ඩෙංගු රෝගය සෑදීම වලක්වා ගැනීම සදහා සාර්ථක එන්නතක්(Vaccine) හෝ රෝගයට ගොදුරු වීමෙන් පසු රෝගය සුව වීම සදහා දිය යුතු සාර්ථක ඖෂධ ප්‍රතිකාරයක්(Medicinal Treatments) පිළිගත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනූව තවම නිපදවා නොමැති වීම නිසාය. මෙම රෝගය මාරන්තික වන්නේද එවැනි පසුබිමක් ඇති නිසාය.
ශ්‍රී ලංකාව තුල ඩෙංගු රෝගය පිළිබදව මෙතරම් ප්‍රභලව සමාජ කතිකාවතක් ගොඩනැගුනේ වසර දෙක තුනක සිට උවත් මෙම රෝගයට ඇති ඉතිහාසය නම් එතරම් කෙටි එකක් නොවේ. මීට වර්ෂ තුන්සියයකට පමණ පෙරදී බටහිර වෛද්‍ය විද්‍යාව මෙම රෝගය හදුනා ගන්නා අතර සැබෑ ලෙසම මෙම රෝගය ඇතිවීමේ හේතුන් ඔවුන් සොයා ගන්නේ විසි වැනි සියවසේ මුල භාගයේදීය. කෙසේ නමුත් දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව මෙම රෝගය ව්‍යාප්ත වීම වේගවත් වී ඇත. 1960 වසර පමණ වන විට මෙම රෝගය සියළුම මහද්වීප තුල තම රෝග කාරක මදුරුවන් බෝකර ඇත. වාර්ෂිකව ලොව පුරා පුද්ගලයන් මිලියන පනහකට වැඩි ප්‍රමාණයක් මෙම රෝගයෙන් පීඩාවට පත්වෙති. ඔවුන් අතුරෙන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වන්නන්ගේ ජීවිත බොහෝ අවධානම් තත්ත්වයට පත්වේ. දෙදහස වර්ෂයෙන් පමණ පසු මෙම රෝගයේ ව්‍යාප්තිය සෑම පහද්වීපයකම පාහේ සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවී ඇත. නිසි ප්‍රතිකාරයකුදු නොමැති මෙම රෝග තත්ත්වය සදහා ලෝක සෞඛ්‍යය සංවිධානය පවා යෝජනා කර තිබෙන්නේ රෝග කාරක මදුරු දෂ්ඨයන් හැකිතාක් වලකා ගැනීම සහ මෙම රෝග කාරක මදුරුවන් බෝවීම හැකිතාක් අවම කර ගැනීමයි.
ඩෙංගු කියන්නේ මොනවාගේ රෝගයක්ද?
- වෛරසයකින් බෝවන උණ රෝග තත්ත්වයකි.
- ඩෙංගු වෛරස ඇති මදුරු විශේෂ හතරක් සොයාගෙන ඇත.
- ඊඩ්ස් ඊජිප්ටයි සහ ඊඩ්ස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක දශ්ඨයෙන් මේ රෝගය බෝවේ.
- මෙම මදුරු විශේෂ දෂ්ඨයන් වැඩි වශයෙන් සිදු වන්නේ උදෑසන 7ත් 10ත් අතර සහ සවස3ත් 5ත් අතර කාලයේදීය.
- මෙම වෛරසය ශරීර ගතවී මුල් දින පහ ඇතුලත එම රෝගියාගෙන් ලේ උරා බොන මදුරුවන් සිදු කරන නැවත දෂ්ඨයකදි පමණක් රෝගය තව කෙනෙකුට බෝවිම සිදුවීම විශේෂ තත්ත්වයකි.
මුලික රෝග ලක්ෂණ
- දින 5ත් 7ත් අතර පවතින තද උණ, හිසරදය, වමණය, ඇද්වටා වේදනාව, මාංශ පේශී වල වේදනාව, හංදි ආශිත වේදනාවන්, කොන්දේ වේදනාව, බඩේ කැක්කුම සහ රතු ලප මතුවීම යන ඒවාය.
- විශේෂ තත්ත්වයක් ලෙස සමහරුන්ට මුලික රෝග ලක්ෂණ පෙන්වන්නේම නැත.
- ඇතැමුන්ට මෙම රෝග ලක්ෂණ පෙන්වා පසුව රෝගය අඩුවී ගියද පසුව නැවතත් ඩෙංගු රක්තපාත තත්ත්වය(Dengue hemorrhagic Fever) ඇතිවිය හැකිය.
ඩෙංගු රක්තපාතය යනු කුමක්ද?
ඩෙංගු රෝගයේ ත්‍රීව අවස්ථාවට පැමිනි විට හදුන්වන්නේ මේ නමිනි. මෙහිදී සම යට කුඩා රත් ලප මතුවීම පැහැදිලිව දැක ගත හැක. අමතරව ඇස් රතු පැහැ ගැන්වීම, අභ්‍යන්තර සහ බාහිර රක්තපාතය (නාසයෙන් හා විදුරු මසු වලින් ලේ ගැලීම), වමනය හෝ මළ කළු හෝ දුඹුරු පැහැ ගැනීම, රුධිර පට්ටිකා(Platelets) අගය සිග්‍රයෙන් පහල බැසීම, රුධිර ප්ලාස්මා(Blood plasma) කාන්දු වීම, රුධිර පීඩනය පහල බැසීම (low Blood pressure) දැක්වීය හැක. මෙහි අවසාන ඵලය වන්නේ මරණයට පත් වීමයි. බොහෝ කලාතුරකින් මෙම තත්ත්වයෙන් මිදි සුව වන අවස්ථා ඇත. බටහිර ප්‍රතිකාර ලෙස පළමුව සිදුකරන්නේ උණ වැලදී දින දෙකකින් පමණ සිදුකරන රුධිර පරීක්ෂණය මගින් රෝග තත්ත්වය නිශ්චිතවම අදුනා ගැනීමයි. හැකි තරම් වතුර, පළතුරු යුෂ(විශේෂයෙන් ඇපල් යුෂ), ජීවනී වැනි දියර වර්ගද සේලයින් ප්‍රතිකාරය දීම යන ඒවා ඉන් අනතුරුව කරනු ලැබේ.රෝහල තුලදී ලැබෙනා ඇද විවේකය(Bed rest)මෙහිදී විශේෂ කාර්යයක් ඉටු කරයි. ඇස්පීන් අඩංගු ඖෂධ මෙහිදි නිර්දේශ නොකෙරේ.
විශේෂ
මෙහිදී සදහන් කල යුතු විශේෂ කරුණක් ඇත. එනම් රුධිර පට්ටිකා බිදීම වලක්වමින් රුධිර පට්ටිකා ගොඩනැගීමට උපකාරි වනවා යැයි යන මතයේ පිහිටා ගස්ලබු දළු යුෂ රෝගීන්ට බීමට දීමේ නොනිල ප්‍රතිකාරයක් සමාජයේ ස්ථාපිතව ඇත. මෙය තවම විද්‍යාත්මකව පර්යේෂණ මගින් තහවුරු කරගෙන නැතත් එයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව පැහැදිලිය. කෙසේ නමුදු මෙම ප්‍රතිකාරය පවා රෝගීන්ට කිරීමේදී සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබාදීමට කටයුතු කිරීම වඩාත් ප්‍රතිඵල දායක සහ ප්‍රඥාගෝචර විය හැක. ගස්ලබු යුෂ ප්‍රතිකාරයට අමතරව ආයුර්වේදයේ දක්වා ඇති විවිධ ජ්වර රෝග සදහා දෙනු ලබන විවිධ ජ්වරනාශක ඖෂධයන් මගින්ද ඩෙංගු රෝගය සදහා විශ්මිත ප්‍රතිළුල අත්කරදෙන බව ප්‍රායෝගිකව සොයා ගෙන ඇත.
මෙම ලිපිය තුලින් අප වඩාත් අවධානය යොමු කරන්නේ ප්‍රතිකාරයට වඩා ආරක්ෂා වීම (prevention is better than cure) මෙවැනි රෝග සම්බන්ධයෙන් ගත හැකි හොදම මාර්ගය බව පැවසීමටයි. මක් නිසාද අනවශ්‍ය අවධානමක් ගෙන තම ජීවීතය තම සමීපයන්ගේ ජීවීත අනතුරේ හෙලීමක් එයින් වැලකෙන බැවීනි. ඒ සදහා හාකි තාක් තමාගේ නිවස සහ එහි වටපිටාව පිරිසිදුවත් අනවශ්‍ය ලෙස වතුර එක්රැස් වීම් වලින් තොරව පවත්වා ගෙන යාමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යය. මෙම මදුරුවන් වැඩි වශයෙන් බෝවෙන්නේ පිරිසිදු ජලය සහිත ස්ථාන වල බව සොයා ගෙන ඇත.එනිසා පිරිසිදු ජලය එක්රැස් විය හැකි හිසි ටින්, පොල්කටු, වලං සහ භාජන, තැඹිලි කෝම්බ වැනි එවා විනාශ කිරීම හෝ වල දැමීම සිදු කල යුතුය. නිවෙස් වල අලංකාරයට තබා ඇති මල් බදුන් වල මල් පර වීම වලක්වා ගැනීම සදහා දමනු ලබන ජලයට ලුණු කැට ස්වල්පයක් එක් කිරීමෙන් නිවෙස තුල මදුරුවන් බෝවීම වලක්වා ගත හැක. වැහිපීලි වතුර නොරැදෙන සේ දින දෙක තුනකට වරක් වත් සුද්ධ කරන්න. එසේම වතුර රැදිය හැකි විශාල මල්ගස් වල වතුර රැදීම වලක්වන්න.
පුද්ගලිකව තම සිරුර මදුරු දෂ්ඨයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට සුදුසු ඇදුම් ඇදීම, රාත්‍රී නින්දට යන විට මදුරු දැල් වලින් සයන ආරක්ෂා කර ගැනීම සහ මදුරුවන් විකර්ෂණය කරන පැඟිරිතෙල් වැනි ආලේපන ශරීරයේ ගැල්වීම සිදුකල හැකිය. තමන් දැනුවත් වීමට අමතරව අන් අයද මේ පිළිබදව දැනුවත් කිරීම, ඔවුන්ටද තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත් කම පැහැදිලි කර දීම අනෙක් කාර්යයයි.
මෙවැනි රෝග සදහා සිවිල් පුද්ගලයින් වශයෙන් සහ සමාජයක් වශයෙන් තම තමන්ගෙන් ඉටුවිය යුතු සමාජ වගකීම සියල්ලන්ම ඉටුකරන්නේ නම් ඉතා පහසුවෙන් මෙවැනි රෝග ව්‍යාප්තිය අවම කර ගත හැකිය.
“එක් කුඩා මදුරුවෙකු විසින් සිදුකරන සියුම් දෂ්ඨයකට ඔබගේ ජීවිතයේ අනාගතය තිරණය කිරීමට ඉඩ නොදෙන්න.!”