ආයුර්වේද වෛද්‍යක්‍රමයේ සංකල්ප සහ න්‍යායයන් පැහැදිලි කිරීමටද ආයුර්වේද වෛදයවරයා රෝගියාගේ ශරීර තත්ත්වයන් සහ රෝග තත්ත්ව පැහැදිලි කිරීමට යොදා ගන්නා විශේෂිත පාරිභාෂික වචන සමූහයක් ඇත්තේය. පෙරදිග ඉන්දියාවේ උපත ලැබූ ආයුර්වේදයේ ලිඛිත භාෂාව වන්නේ සංස්කෘතය වන බැවින් බොහෝමයක් සංස්කෘත වචන එපරිද්දෙන්ම වර්තමානයේදිද ආයුර්වේද වෛද්‍යකර්‍මය තුල භාවිතා කෙරේ. එම වචන බොහොමයක් සාමාන්‍ය වාහරේ භාවිතය අල්ප වන බැවින් ඒවායේ අර්ථයන් සාමාන්‍ය පුද්ගලයන්ට තේරුම් ගැනීමට ඉතා අපහසු වි ඇත. නමුත් වෛද්‍යවරුන් රෝගින්ට කරුණ පැහැදිලි කිරිමේදි සහ විවිධ ලිපි ලේඛන වල මෙම පාරිභාෂික වචන භාවිතා වන බැවින් ඒවායේ අර්ථයන් දැන සිටීම හෝ ඒ ඵිළිබඳව දල අදහසක් ඇතුව සිටිම ආයුර්වේදය සමග කටයුතු කරනා ආයුර්වේදයට ලැදි සැමටම ප්‍රයෝජනවත් වන්නේය. ඒ අනූව විශේෂයෙන් භාවිතයේ ඇති නිතර කියැවෙන ආයුර්වේදිය වචන සමුහයක අර්ථයන් ගෙන හැර දැක්වීමට අප අපේක්ෂා කරන්නෙමු. මේ එම කටයුත්තේ පළමු පියවරයි. ඒ සඳහා අප මේ අවස්ථාවේදී උපයෝගි කර ගන්නේආයුර්වේද ඖෂධ සංග්‍රහය නම් ග්‍රන්ථයේ ප්‍රථම පියවර පළමු වන කොටසෙහි දක්වා ඇති පාරිභාෂික වචන එකතුවකි.
•දීපන ද්‍රව්‍ය(Stomachic’s) යනු ආමය නොපැසවන(Indigestive) එහෙත් අග්නිය(Apatite) ඇතිකරන ද්‍රව්‍ය වේ.
•පාචන ද්‍රව්‍ය(Digestives) ආමය පැසවයි. එහෙත් අග්නිය ඇති නොකෙරේ.
•දිපනපාචන ද්‍රව්‍ය(Stomachic’s & Digestives) යනු අමයද පැසවා අග්නියද උපදවන ද්‍රව්‍ය වේ.
•ශමන ද්‍රව්‍ය(Gastric Sedatives) සමදෝෂ විෂම නොකරන අතර විෂම දෝෂ ශමනය කරයි. එහෙත් ශෝධන කාර්යයක් ඉටු නොකෙරේ.
•අනුලෝමන ද්‍රව්‍ය(Carminatives) මලාදින් පැසවීම සිදුකොට බන්ධය ලිහා පහලට පමුණුවනු ඇත.
•ස්රංසන ද්‍රව්‍ය(Simple and Anthracene Purgative) යනු රැස්වු එසේම පැසවූ හෝ නොපැසවූ කෝෂඨගත මලාදිය නොපැසවාම පහතට ඇද පිට කරනා ද්‍රව්‍ය.
•භේදන ද්‍රව්‍ය(Drastic Purgative) බැඳුණු හෝ නොබැඳුණු දෝෂයන්ගෙන් පිඬුවු මල කොටස් බිඳ දමා පහතට හෙලයි.
•රේචන ද්‍රව්‍ය (Purgatives) පැසවු හෝ නොපැසවූ මලාදිය ද්‍රව බවට පත් කර පිට කෙරේ.
•වමන ද්‍රව්‍ය(Emetics) නොපැසවු සෙම් කොටස් පිතෙහි බලයෙන් උඩට පමුණුවයි. වමනය උපදවා ලයි.
•සංශෝධන ද්‍රව්‍ය(Emetics and Purgatives) මල සහ දෝෂාදිය රැස්වු ස්ථානයෙන් ඉහළින් හෝ පහළින් හෝ (මුව නාසා මගින් හෝ මලමුත්‍ර මාර්ග වලින්) පිටකරන ද්‍රව්‍යයි.
•ඡේදන ද්‍රව්‍ය(Expectorants) බැඳුණු/ඇලුණු සෙම් ආදි දෝෂයන් බලයෙන් මුලින් උපුටා දමන ද්‍රව්‍යය.
•ලේඛන ද්‍රව්‍ය(Curatives) ශරීර ගත රස ආදි ධාතුන් හෝ වාතාදි මල වියලවා ශරීරය කෘෂ කරයි.
•ග්‍රාහි ද්‍රව්‍ය: යම් ද්‍රව්‍යයක් දීපන පාචන ගුණ යුක්තද, එහි ඇති උෂ්ණ වීර්යය නිසා ද්‍රව ස්වරූප දෝෂ, ධාතු, මලාදීන් වියලවා ලයිද ඒ ද්‍රව්‍ය ග්‍රාහි නම් වේ.
•ස්තම්භන ද්‍රව්‍ය: යම් ද්‍රව්‍යයක් රූක්ෂ ගුණය, ශීත වීර්යය, කෂාය රස, ලඝූ පරිපාකය, යන වාත ගුණ සාධර්ම්‍ය හේතු චතුෂ්ටය කරණ කොට ගෙන වාතය වඩන සුලුද ඒ ද්‍රව්‍යය ස්තම්භන ද්‍රව්‍ය වේ.
•රසායන ද්‍රව්‍ය: යම් ද්‍රව්‍යයක් ජරා, ව්‍යාධි නසයිද ඒ ද්‍රව්‍ය රසායන නමි.
•වාජීකරණ ද්‍රව්‍ය(Aphrodisiacs) යම් ද්‍රව්‍යයකින් ස්ත්‍රි පුරුෂයන් කෙරෙහි හර්ෂය පහළ කෙරේද හෙවත් කාම සම්භෝග ශක්තිය වර්ධනය කෙරේද ඒ ද්‍රව්‍ය වාජීකරන නම් වේ.
•ශුක්‍රල ද්‍රව්‍ය: යම් ද්‍රව්‍යයකින් ශුක්‍රය ආර්තව වැඩි කෙරේද ඒ ද්‍රව්‍ය හමුන්වන්නේ ශුක්‍රල ද්‍රව්‍ය නමිනි.
•ශුක්‍ර රෙතඃප්‍රවර්තක ද්‍රව්‍ය: ශුක්‍ර ප්‍රවර්තක සහ ජනක ද්‍රව්‍යයි. ශුක්‍ර ඇතිකිරීම හා පැවැත්ම මෙයින් සිදු කෙරේ.
•ශුක්‍ර රේචක ද්‍රව්‍ය: ශුක්‍ර වගුරුවා ලන්නේ ශුක්‍ර රේචක ද්‍රව්‍යයි.
•ශුක්‍රස්තම්භන ද්‍රව්‍ය: ශුක්‍ර ධාතුව තද බවට පත්කරන්නේ මෙම ද්‍රව්‍යයි.
•ශුක්‍රශෝෂණ ද්‍රව්‍ය: ශුක්‍ර ක්ෂය කොට වියලවා ලන්නේ ශුක්‍රශෝෂණ ද්‍රව්‍යයි.
•සූක්ෂ්ම ද්‍රව්‍ය(Minuteness) ශරීරයේහි සියුම් සිදුරු වල(ස්‍රෝතස්) පිවිසිමේ ශක්තියක් ඇති ද්‍රව්‍ය සූක්ෂ්ම ද්‍රව්‍යය වේ.
•ව්‍යාවායි ද්‍රව්‍ය: පළමුව අපක්ව අවස්ථාවෙහිම සියළු සිරුරෙහි පැතිර පසුව පැසවීමට/පාකයට යැම සිදුකරනා ද්‍රව්‍යයි.
•විකාශි ද්‍රව්‍ය: සන්ධි බන්ධනයන් ලිහිල් කොට, ධාතු ඕජස වියලවා(ඔජඃක්ෂය ඇතිකර) පැසීමට ගෙන යනුයේ විකාශී ද්‍රව්‍ය වේ.
•මදකාරී ද්‍රව්‍ය(Narcotics) බුද්ධිය අධික තමෝ ගුණයෙන් වසා මත් ගතිය ඇතිකරන ද්‍රව්‍යයි.
•යෝගවාහි ද්‍රව්‍ය: යම් යෝගයකට අයත් සෙසු ද්‍රව්‍යන්ගේ ගුණ රාශිය හෙවත් එය හා සංයෝග වන අනිත් ද්‍රව්‍යයන්ගේ ගුණ ඇද ගැනීමට සමත් ද්‍රව්‍යයයි.
•ආග්නේය ද්‍රව්‍ය: ශරීරය උෂ්ණ කොට නාඩින්ගේ ශක්තිය ඇතිකරන්නේ ආග්නේය ද්‍රව්‍යයයි.
•විෂ ජීවිතහර/ප්‍රාණහර ද්‍රව්‍ය(Poisonous) ව්‍යාවාහි විකාශි සුක්ෂ්ම ඡේදී මාදක ආග්නේය යොගවාහි යන ක්‍රියාවල ශක්තීන් සියල්ල ඇති ද්‍රව්‍යය ජීවිතහර ද්‍රව්‍ය නම් වේ.
•ප්‍රමාථි ද්‍රව්‍ය: ස්වකීය ප්‍රභාවයෙන් ස්‍රෝතස්හී රැස්වු දෝෂ සමුහය බැහැර කර ලනුයේ ප්‍රමාථි ද්‍රව්‍යයයි.
•අභිෂ්‍යන්දී ද්‍රව්‍ය: ගුරු හා පිච්ඡිල/බෙලසුල් ගුණ යුතු හෙයින් ශාරීරික රස වහනය වන ශිරා ආවරණය කොට සිරුරේ බර බවක් ඇති කරයි.
•විදාහි ද්‍රව්‍ය(Irritants) හෘත් දාහයත් අම්ලෝද්ගාරයත් හා පිපාසාව ඇති කර ප්‍රමාදවී පාකයට යන ද්‍රව්‍ය විදාහි ද්‍රව්‍යයි.
•වෘෂ්‍ය ද්‍රව්‍ය: ශරීරය පෘෂ්ටිමත් කරන සප්ත ධාතු වර්ධක ද්‍රව්‍ය වෘෂ්‍ය ද්‍රව්‍යයයි.
•පීඩන ද්‍රව්‍ය: යම් ද්‍රව්‍යයක ලේපයෙන් ව්‍රණයන්ගේ පුසාදිය නිර්ගත වේද එම ද්‍රව්‍ය පිඩන ද්‍රව්‍යයි.
•දහන ද්‍රව්‍ය: ක්ෂාර ආදියෙන් ශල්‍යකර්ම යට අයත් දැවිම් ක්‍රියා මින් සිදු කෙරේ.
•මාදන ද්‍රව්‍ය(Anesthetic) ශල්‍යකර්‍මයක් සඳහා රෝගියා සිහි නැතිකිරීම(හෝ ස්ථානිකව හිරි ඇති කිරිම) මින් සිදු කෙරේ.
• විෂප්‍රශමන ද්‍රව්‍ය(Antidote) උද්භිජ්ජ, පාර්ථිව, ජාන්තව විෂ ද්‍රව්‍ය වලින් පෙළෙනවුන් සුවපත් කරණු සඳහා භාවිත ද්‍රව්‍යයි.
ඉහත දැක්වුයේ ආයුර්වේද පාරිභාෂික වචනමාලාවේ ඇති වචන සමුහයෙන් ස්වල්පයක් පමණි. මේ ආකාරයට ඉදිරියේදිද ආයුර්වේද පාරිභාෂිත වචන හදුන්වාදීමට වෙදැස අප බලාපොරොත්තු වෙමු.