ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
උච්ච බුධ වක්‍ර වීමෙන් දරුවන්ට විපත් වැඩිවේ.

ලෝකයේ සම්පත් යන විශේෂණ පදය යොදමින් හඳුන්වන නම් ඇත්තේ ඉතාම සීමිත සංඛ්‍යාවකි. වන සම්පත, ජල සම්පත, දරු සම්පත ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගනී. දෙමව්පියන්ට දරු සම්පත තරම් වටිනා සම්පතක් නැති බව අවිවාදයෙන් පිළිගත යුතුය. එය එසේ වන්නේ මානව වර්ගයාගේ පැවැත්ම රඳා පවතින්නේ දරු සම්පත නිසා බැවිනි. ජාතක පොත කියවා බලන විට ලේනෙකු තම පැටවුන් සහිත කූඩුව මුහුදට ගසාගෙන ගිය අවස්ථාවේ දී වළිගය ආධාරයෙන් මුහුද හිස් කරන්නට උත්සාහ කළ කතා පුවතක් හමු වූ විය. ඒ තරම් අපේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය දෙමාපිය දූ දරු සබඳතාවය පිළිබඳව නොබිඳෙන සෙනෙහසකින් යුක්තය. මේ තත්වය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බව දැන් දැන් අසන්නට ලැබෙන පුවත්වලින් පැහැදිලි වෙයි. දැන් අම්මාට තාත්තාට දරුවන් සම්පතක් නොවන වගට උදාහරණ අප්‍රමාණ තරම් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

විහාර මහා දේවී යනු කැළණි පුරවරයේ සිට මහ මුහුදට පාවී ගොස් කිරින්ද මුහුදු තීරයෙන් ගොඩ ගත් කාවන්තිස්ස රජුට අග මෙහෙසිය වී ත්‍රිසංහලය එක් සේසත් කළ දුටු ගැමුණු රජු මෙලොවට දායාද කළ අභීත දියණියකි. වළගම්බා රාජ්‍ය පාලන සමයේ සොළී ආක්‍රමණවලින් බේරී පලා යන වලගම්බා රජු අනුලා බිසව ඇතුළු පිරිස ගමනේ වේගය ඉක්මන් කරනු පිණිස අනුලා බිසව ආක්‍රමණිකයන්ට හසුවී ජීවිතය නැසුනත් රජු ආරක්ෂා වේවායි සිතා අශ්ව කරත්තයෙන් බැස ගියා යැයි මහා වංශයේ සඳහන් වේ. මේ අප අතර පහල වූ සුජාත දියණියකි. මෙම ඉතිහාසය නොදන්නා අම්මලා සහ තාත්තලා සිටින රටක එවන් සුජාත දියණියක් හෝ අභීත දියණියක් බිහිවනු ඇතැයි බලා සිටීම සිහිනයකි.

නූතන තරු පරපුරේ දරුවන් විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ මව් ගුණ ගී ගායනා කරන අවස්ථා කීපයක දී “හදනා අම්මලා ද වදනා අම්මලා ද” සිටින බව ගීතයෙන් කියනවා ඇසී මාගේ ගතත් සිතත් දෙකම සලිත විය. තවත් අවස්ථාවක එක් දරුවෙක් අම්මාගෙන් අසන්නේ පියාගේ නම ඉරක් වුණේ කොහොමද කියාය. දිනක් දහවල් 01ට පමණ මවක් පැමිණ තම දියණිය මල්වර වී ඇති බවත් එය දැන ගත්තේ අඳුන බලා සාස්තර කියන තැනකින් බවත් පවසා මල්වර නැකැතක් සාදා දෙන ලෙස ඉල්ලීමක් කළේය. දියණියක් වැඩිවියට පත් වීමට අදාල ග්‍රහ යෝගයක් එදින නොවුණු බැවින් මා පුදුමයට පත් විය. දින කිහිපයක් පසුපසට ග්‍රහ යෝග සොයා බැලීමේදී හරියට ම ඊට සතියකට පෙර එවැනි ග්‍රහ යෝගයක් යෙදී තිබුණි. ඒ බව අදාල මවට කී විට ඇය කීවේ සමහර විට එදා දුව වැඩිවියට පත් වුණා වෙන්න පුළුවන් කියාය. සාස්තරය ඇසූ අවස්ථාවේ මේ ගැන නොකියා සිටියේ නම් අදාල මව මේ දක්වා ම ඇයගේ දුව වැඩිවියට පත් වූ බව නොදන්නවා විය හැකිය. මේ වැනි කරුණු කිපයක් සඳහන් කළේ වර්තමාන අම්මලා දරුවන් ගැන කෙතරම් අවධානයෙන් සිටිනවාදැයි පැහැදිලි කිරීමටය.

පසුගිය සතියේ තම නිවසේ සුවසේ නිදා සිටි සේයා දියණිය හදිසියේ අතුරුදහන් වීම හා ඇයගේ නිසල දේහය හමුවීම නිසා අලුත් කතාබහක් රට පුරා ඇති විය. දෙමව්පියන් අසල්වාසීන් කුමන ආකාරයක අදහස් ඉදිරිපත් කළ ද අවසානයේ හමු වූයේ පාපතරයෙකුගේ දරදඬු දෙඅත් අතර ගෙල සිරවී දිවියෙන් සමුගත්, ඔහුගේ ම අශෝභන වූ නිර්ලජ්ජිත ආශාවන්ගේ සන්තර්පණයට සිය අහිංසක නිසල දේහය ගොදුරක් වූ පුංචි සේයාගේ මළ සිරුරයි. ඉන් පසුව ඒ සම්බන්ධව සැක පිට අත්තඩංගුවට පත් වූයේ 17 හැවරිදි පාසල් සිසුවෙකි. එහෙත් එම පාසල් සිසුවා මේ සම්බන්ධව වැරදිකරු නොවන බව තහවුරු වූ අතර නිය ම වැරදිකරු ද අත්තඩංගවට පත් විය. මේ සමග ම තවත් කුඩා දරුවන් කිහිප දෙනෙකු ම අතුරුදන් වීම් හා මරා දැමුණු බවට මාධ්‍ය වාර්තා දිගින් දිගට ම ඉදිරිපත් වෙමින් පවතී. එක්තරා ප්‍රසිද්ධ පාසලක් ඉදිරිපිට තම දරුවා පාසලට ඇතුළත් කර නොගත්තේ යැයි මව පියා සහ කුඩා දරුවා සතියකට වැඩි කාලයක් නිහඬ උපවාසයක නිරත වන අයුරු ද දිටිමි. මේ සියල්ල මගින් පැහැදිලි වූයේ දරුවන්ට අයහපත් කාලයක් උදා වී ඇති බවයි. දරු සම්පත අනතුරක සිටින බව පැහැදිලිව දක්නට ලැබුණි.

මුළු රට ම වේදනාවට පත් වූ මෙම තත්වයට බලපෑ ග්‍රහ ගමන පිළිබඳව විමසා බැලීම ජ්‍යොතිෂවේදීන් ලෙස අපගේ යුතුකමයි. බුධ පුත්‍රකාරකයාය. මේ වන විට සඳුගෙ හත නැකතේ ගෝචර වන බුධ තමාගේ ම ස්වක්ෂේත්‍ර රාශිය වූ කන්‍යා රාශියේ උච්ච බල සහිතව ගමන් කරයි. දූ දරුවන් සියලු දෙනාට ඉතා යහපත් කාලයකි. පඤ්ච මහා පුරුෂ යෝගයක් වූ භද්‍රා නම් මහා යෝගය උදා වන බැවින් අධ්‍යාපනයේ රන් කිරුළු පළඳින්නට මෙය කදිම අවස්ථාවක් වන්නේය. එහෙත් සිදු වූයේ වෙනස් දෙයකි. 2015 සැප්තැම්බර් 18 දින නක්ෂත්‍රාදිපති සඳු වෘශ්චික රාශියේ නීච තත්ත්වයට පත් වන අතර 2015 සැප්තැම්බර් 17 දින රාත්‍රී 11.41 ට බුධ ග්‍රහයා සිය උච්ච භවනයේ සිට වක්‍ර ගමන අරඹයි. උච්ච ග්‍රහයා වක්‍ර වීම නීච තත්ත්වයට පත් වීමකැයි මූලාශ්‍රවල සඳහන් වන බැවින් ඉහත දැක් වූ සුබ ඵල උදා කරදීමට බුධ අසමත් වන්නේය.

grahayaමෙහි දැක්වෙන්නේ මේ දිනවල පවත්නා ග්‍රහ චාරය විග්‍රහ කිරීමට සකසා ගත් කේන්ද්‍ර සටහනකි. මෙම කේන්ද්‍ර සටහනට අනුව රවි හා රාහු සමග සංයෝග වූ බුධ වක්‍ර වී සිටී. උච්ච භවනයේ දී වක්‍ර වීම නිසා සියලු ශක්තීන් අතහැර අසුබඵල උදාකරවීමට සමත් ලෙසින් නීච තත්ත්වයට පත් වන බව ඉහතදී ද සඳහන් කළෙමි. කන්‍යා රාශියේ සිටින බුධ නියෝජනය කරන නැකත හිමි සඳු වෘශ්චික රාශියේ නීච වී සිටින අතර සෙනසුරුගෙන් ද කුජගේ සිව්වැනි දෘෂ්ටියෙන් ද පීඩා ලබා ඇත. බාධක ග්‍රහයා වූ ගුරු 12 වැන්න වූ සිංහ රාශියේ කුජ සමග යෝග වී ඇත. තුන් වැන්න වූ වෘශ්චික රාශියට පැමිණ නීච රාශිගත සඳුෙගෙන් හා සතුරු රාශිගත සෙනසුරුගෙන් පුත්‍රස්ථානය වූ පස්වැන්න පීඩාවට පත් වීම ද යහපත් දෙයක් නොවේ. මේ සියල්ලෙන් ඉඟි කරන්නේ දරුවන්ට අයහපත් කාලයක් බවයි.

පුත්‍රකාරක බුධ වක්‍ර වී ඇති අතර ගුරු ද කුජගෙන් පීඩා ලබා ඇත. සඳු සෙනසුරුගෙන් පීඩා ලබා ඇති අතර පුත්‍රසථානය වූ 05 අධිපති සෙනසුරු කුජගේ දෘෂ්ටියෙන් පීඩා ලබා ඇත. මේ ග්‍රහ පිහිටීම් අනුව දරුවන්ට තදබල අපල කාලයක් බව පැහැදිලිව කිව හැකිය. මේ පවතින ග්‍රහ චාරය 2015 ඔක්තෝබර් මස 09 වැනි දින රාත්‍රී 08. 28 දක්වා පවතිනවා ඇත. මේ කාල පරිච්ඡේදය පුරාවට දරු දැරියන් සම්බන්ධ නොයෙක් ආකාරයේ හිංසා පීඩා අසන්නට දකින්නට සිදුවන කාලයකි. එ බැවින් වගකිවයුතු පිරිසක් ලෙස දෙමාපියන් විශේෂ අවධානයකින් තම දරුවන් ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතුය.

නීතිය සාමය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් ද මේ කාලය පුරා දරු දැරියන් පිළිබඳව ලැබෙන පැමිණිලි ආදිය විමර්ශනය කිරීම සම්බන්ධව විශේෂ විධිවිධාන අනුගමනය කිරීම වැදගත් වන අතර අපරාධ නිවාරණය කිරීම සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැළැස්මක් සකස් කළ හැකි නම් එය ඉතා වැදගත් බව පහදා දෙනු කැමැත්තෙමි.

අපරාධයක් සිදු කිරීමෙන් පසුව ඒ සම්බන්ධව අදාල අපරාධ සැලසුම් මාධ්‍ය මගින් අනාවරණය කිරීම තවත් අපරාධ සිදු කිරීමට ලබාදෙන අනුබලයක් වැනි දෙයක් වී ඇත. විශේෂයෙන් ම කාලයක් තිස්සේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් අපරාධයක සුලමුල හෙලි කරන වැඩ සටහන්, ටෙලි කථා මාලවන්, විශේෂ ලිපි මාලාවන් ඇතුළත් පුවත්පත් වැනි දෑ වෙළෙඳ පොලට ඉදිරිපත් කරන බව දැක ඇත්තෙමි. මේ නිසා දිනෙන් දින අපරාධ රාශියක් සිදු වන බව මාගේ පෞද්ගලික අදහසයි. මීට අමතර ව ප්‍රවෘත්ති ප්‍රකාශයක් ගත් කල සෑම මාධ්‍යකින් ම අපරාධ පිළිබඳව ඇති ප්‍රවෘත්ති විශේෂකොට ඉදිරිපත් කිරීම ද තවත් අපරාධයක් සිදු කිරීමට අත වැනීමක් බවට පත්ව ඇති බැවින් මේවා වාර්තා කරණයේදී කිසියම් සුබවාදී ක්‍රමයක් අනුගමනය කරන්නේ නම් යහපත් බව දන්වා සිටිනු කැමැත්තෙමි.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දෙවි රැකවරණයි.

ජ්‍යොතිෂවේදී
සමන් ශ්‍රී කොඩිතුවක්කු (B.A. sp Hon’s, M.A. ජ්‍යොතිෂපති)
samansrikodithuwakku@gmail.com