ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
රාශි චක්‍රයේ වගතුග – මේෂ ලග්නය

මේෂ රාශියමේෂ යන නමින් හඳුන්වන්නේ එළුවකුගේ හැඩයට සමාන රූප ලක්ෂණ සහිත තරු රටාවකි. මේ නිසා සංකේතය අජ හෙවත් එළුවාගේ රූපයයි. රාශි චක්‍රයේ පළමුවන රාශිය ලෙස මේෂ රාශිය හඳුන්වයි. නිරයන ජ්‍යෙතිෂ්‍යයට අනුව සෑම වසරකම අප්‍රේල් 13 දින සූර්යයා මේෂ රාශියට සම්ප්‍රාප්ත වී මැයි මස 13 හෝ ආසන්න දිනයක බැහැරව යයි. මේ නිසාම රවි හෙවත් සූර්යයා මේෂ රාශියට උච්ච බල සහිත ග්‍රහයාය. ලග්නාධිපති වන්නේ කුජ හෙවත් අඟහරුය. රාශි බෙදීම් අනුව මේෂය පුරුෂ රාශියකි. චර රාශියකි. සූර්යයාගේ අධික රශ්මි කදම්භය විහිදුවන මාසය බැවින් තේජෝ භූතයට අයත් ගිනි රාශියකි. ත්‍රස්ත රාශියකි. එළුවකුගේ රුවක් සහිත බැවින් සිව්පා රාශියක් ද වේ. ක්ෂත්‍රීය වංශයට අයත් පෘෂ්ඨෝදය හෙවත් පිටින් උදාවන රාශියකි. රවි උච්ච බල ලබන කුජ හෙවත් අඟහරු ලග්නාධිපති වන මේෂය කෘර රාශියක් ද වන්නේය.

           දෙවැන්න හා සත්වැන්න අධිපති බැවින් සිකුරු ද, තෙවැන්න හා සයවැන්න අධිපති  බැවින් බුධ ද, බාධක ග්‍රහයා සහ සෙනසුරුගේ නීච රාශිය වන බැවින් සෙනසුරු ද, මේෂ රාශියට / ලග්නයට පාපීන් වේ. 5 අධිපති රවිගේ උච්ච රාශිය වන බැවින් ද, භාග්‍යස්ථානයේ ඇති අයිතිය නිසා ද රවි සහ ගුරු සුබයන් වන්නේය. කුජ අට අධිපති වුව ද ලග්නාධිපති වීමේ වාසිය නිසා පාපියෙක් නොවන්නේය. රතු පාට හිමි වර්ණය වන අතර කළුපාට ඉතාම නුසුදුසුය. උෂ්ණ සහිත ස්ථාන, තණබිම්, සොරුන් වාසය කරන ස්ථාන, වැලි සහිත උස්බිම් මේෂ ලග්නයට අයත් වේ. හිමි වන මැණික් වර්ගය කොරල්ය. මේෂ ලග්නය උදාවේ සිට පළමු විනාඩි 36ක කාලය ලග්න විෂ සහිත බව මූලාශ්‍රවල සඳහන් වේ.

චරිත ලක්ෂණ

            උපායශීලී, දක්ෂ, කාර්යශූර අය බොහොමයක් මේෂ ලග්න හිමියන් වේ. සෑම විට ම ඉදිරිගාමීය. ලග්නාධිපති කුජට ඇති ඤාණකාරක ගුණය නිසාම වහා වැටහෙන සුළු නුවණක් සහිතය. නව නිර්මාණකරණයට දැඩි රුචිකත්වයක් ඇති අතර ජයග්‍රහණයේ අයිතිය තහවුරු කරගැනීමට අතිශයින්ම කැමතිය. සෘජු අදහස් ඇති නිදහස ප්‍රිය කරන අයෙකි. කුජගේ ඇති දැඩි බව නිසාම ඉවසීමේ ගුණය අවම වන අතර සටන්කාමීය. තම හිතවතුන්ට පක්ෂව ක්‍රියාකරන අතර විරුද්ධවාදීන්ව දුරුකර දමන්නේය. සටනින් හෝ විරුද්ධවාදීන් එළවා දමයි. තම සහකරුට හෝ සහකාරියට පමණක් අවනත වන මොවුන් අධික කාමාශක්තය. ආරෝහ පරිණාහ දේහ සම්පතින් හෙබි මේෂ ලග්න හිමියන් ආඩම්බර වන අතර තම දුර්වලතා සඟවාගෙන ත්‍රාසජනක අවස්ථාවන් / කාර්යයන් වුව ද නොපැකිලිව භාර ගන්නේය. චර රාශියක් බැවින් අදහස් වෙනස් වේ. වාද විවාදවලට නුසුදුසුය. අලංකාර ඇඳුම් පැළඳුම්වලට ඇති කැමැත්ත ද, නිතර ආහාර ගැනීම ඇති කැමැත්ත ද විශේෂයෙන් දැකිය හැකිය.

            හිසේ හෝ කම්මුල්වල කැළැල් ලකුණක් දැකිය හැක. දුඹුරු පැහැති හෝ අලු පැහැයට හුරු ඇස් ඇත. පළල් වූ නළලකි. කළු පැහැයට හුරු දුඹුරු පැහැති බොකුටු හිසකෙස්ය. දිගටි මුහුණක් හා බෙල්ලක් ඇත. පදිංචිය නිතර වෙනස් කරන නෑදෑ හිතවතුන් / දරුවන් අඩු අය වෙති. කුජ විසින් පාලනය කරන රැකියා සුදුසු අතර විවාහය ඉක්මන් වන්නේය. ප්‍රේම සම්බන්ධතා ඇති කරගැනීමේදී සිත වශී කරවන පෙනුම, අවංක ආදරය දැකිය හැක. මේෂ ලග්න හිමි පෙම්වතියන් තම පෙම්වතාට හොඳින් ආදරය සෙනෙහස දක්වන අතර හොඳින් රැකබලා ගනිති. මේෂ ලග්න හිමි සහකරුවන් රූපශ්‍රියෙන් යුතු පෙම්වතියන් සොයන, නිතර ප්‍රීතිමත් ව සිටින, මුදල් වැය කරන නාස්තිකාරයෝය.

ජ්‍යොතිර්වේදී / ශාස්ත්‍රපති
සමන් ශ්‍රී කොඩිතුවක්කු
(B.A. (sp, Hon’s), M.A. ජ්‍යොතිෂපති)
samansrikodithuwakku@gmail.com