2015.03.20 දින මෙම වසරේ සිදු වන ප්‍රථම සූර්ය ග්‍රහණය වාර්තා වන දිනයයි. එදින සවස 03.17ට පමණ පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදු වන අතර ශ්‍රී ලංකාවාසීන්ට නම් එය දැක බලා ගැනීමට අවස්ථාව උදා වන්නේ නැත. සූර්ය ග්‍රහණයක් සිදු වන්නේ සූර්යයාත් පෘථුවියත් අතරට චන්ද්‍රයාගේ පැමිණිම නිසාය. රවි හෙවත් සූර්යා සිටින මීන රාශියට චන්ද්‍රයා පැමිණීම නිසා එ දින නවසඳ හෙවත් අමාවක දිනයකි. සඳුගේ ඡායාවට සූර්යයා වැසී යන බැවින් පෘථිවිවාසී අපිට සූර්යා මැදින් කළු වලාවක් වැනි යමක් ගමන් කරන බව දැකිය හැකි වේ. මේ අවස්ථාව වන විට දහවල කළුවර වී අන්ධකාර වූ ස්වභාවයක් ඇති වේ. මීට දශක 5කට පමණ පෙර ලස්සන වීමට යැයි කියා වදකහ සුදිය බිව් පුවතක් වාර්තා වන්නේ ද මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් පැවති දිනයක දී ය.
මෙදින සූර්ය ග්‍රහණය සිදු වනුයේ මීන රාශියේදීය. උදා නැකත සෙනසුරුට අයත් උත්‍රපුටුප නැකතයි. මේ වන විට එම නැකත අධිපති සෙනසුරු වෘශ්චික රාශියේ වක්‍ර ගමනක යෙදී සිටී.
සූර්ය ග්‍රහණය සිදු වන අවස්ථාවේ තත්කාල ලග්නය වන්නේ කටකයයි. කටක ලග්නාධිපති සඳු රවි හෙවත් සූර්යයාගේ ආලෝකය පෘථුවියට ලැබීම අවහිර කරමින් මීන රාශියේ ගමන් කරයි. ග්‍රහණය සිදු වන රාශිය අධිපති ගුරු කටක රාශියේ උච්ච ව සිටිය ද වක්‍ර ගමනක නිරත වීම නිසා උච්ච බල රහිත වී නීච තත්ත්වයට පත් වී ඇත.
පාප ග්‍රහයන් තිදෙනෙකුට මැදි වූ ලග්නාධිපති චන්ද්‍රයා බල රහිත වී 09 වැන්නේ ගමන් කරයි. ලග්න රාශියේ ගුරු ද, 05 වැන්නේ ශනි ද වක්‍ර වී ඇත. චන්ද්‍රයා නියෝජනය කරන්නේ ද සෙනසුරුට අයත් නැකතක් බැවින් සුබ ඵල අවම කරයි. ලග්නයේ සිටින ගුරුට අමතර ව කිසිඳු ග්රහයෙකු ලග්න රාශිය දකින්නේ නැත. මේ නිසා අයහපත් අසුබ ප්‍රතිඵල බොහොමයක් අත් විඳින්නට බොහෝ දෙනාට සිදු විය හැකි බව නම් පැහැදිලිය.
සඳු පාපකර්තරී වී සිටිනුයේ තේජෝ ග්‍රහයන් දෙදෙනෙකුට නිසා පිරිසිදු ජලය අපවිත්‍ර වීම, ගංගා ඇල දොළ සිඳී යාම, චර්ම රෝග හෝ වෙනත් උෂ්ණාධික රෝග බෝ වීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය. මේ නිසා සතුන්ට ද පීඩා විදීමට සිදුවනු ඇත. තවද සඳු මාතෘකාරක ග්‍රහයා වන බැවින් කාන්තාවන්ට ප්‍රධාන වශයෙන් කරදර හිරිහර පීඩා ආදියට මුහුණ පෑමට සිදු විය හැකිය. අපහාස විඳින්නට සිදු විය හැකිය. එබැවින් කල්පනාකාරීව ක්‍රියා කිරීම අතිශය වැදගත්ය.
රවි හෙවත් සූර්යයා රාජ්‍යය නියෝජනය කරන බැවින් එම සූර්යයා ග්‍රහණයට හසු වීම රාජ්‍යයේ කැරලි කෝලාහල, ජනතා උද්ඝෝෂණ ආදිය ඇති කරවීමට සමත් වේ. රාජ්‍ය පාලකයන් කෙරෙහි මහජනතාවගේ ප්‍රසාදය/විශ්වාසය ගිලිහී යන කාලයක් විය හැක.
මෙම සූර්ය ග්‍රහණය සිදු වන අවස්ථාවේ රවි – සඳු – කුජ – කේතු යන ග්‍රහයන් සිව් දෙනෙකු භාග්‍යස්ථානයේ ගෝචර වන බව පැහැදිලිය. පෙර කරන ලද කුසල අකුසල කර්ම පිළිබඳව විග්රහ කෙරෙන 09වැන්නේ ඇති මෙම ග්‍රහ සංයෝගය කියා පාන්නේ පාපකර්ම කළ ලොකු කුඩා සියලු දෙනාට තරාතිරිම නොබලා විපාක විඳින්නට සිදු වන බවයි. එබැවින් මෙලොව දී ඔබ බොහෝ කොට ප්‍රාණඝාතා දී අකුසල කර්ම කළ අයෙක් නම් ඔබට විපාක විඳින්නට සිදු වනු ඇත. දස පුණ්‍යක්‍රියා සිදු කිරීම, දස පාරමිතා සම්පූර්ණ කිරීම ආදී උතුම් කටයුතුවලින් පමණක් මෙම අකුසල විපාක වලක්වා ගත හැකි වනු ඇත.
ශාස්ත්‍රපති /ජ්‍යොතිෂවේදී
සමන් ශ්‍රී කොඩිතුවක්කු (B.A. (sp, Hon’s), M.A.)