කට පරිස්සම් කරගත්තොත් හොඳයි. (දෙවන කොටස)
මෙම ලිපිය තුලින් අප බලාපොරොත්තු වන්නේ පෙර අවස්ථාවකදී සාකච්ඡා කරනු ලැබූ මධුමේහය රෝගය සම්බන්ධයෙන්ම තව දුරටත් සාකච්ඡා කිරිමටයි. මධුමේහ රෝගීන් වැඩි අවධානයක් යොමු කරන එසේම යම් යම් සැක සංකා ඇති ක්ෂේත්‍රයක් වන “මධුමේහ රෝගය සදහා පත්‍ය හා අපත්‍ය ආහාර වර්ග” පිළිබදව යම් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කිරිම වඩාත් ඵලදායි වේ යැයි අප කල්පනා කරන්නෙමු. මධුමේහ රෝගින් අතුරෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් එනම් ඉන්සියුලින් මත නොයැපෙන මධුමේහය(Non Insulin Dependent Diabetic Militias ) රෝගීන්ගෙන් 60%ක් ආහාර පාලනයෙන් පමණක්ම පූර්ණ සුවය ලබා ගත හැකි අවස්ථාවේ පසුවන්නේ යැයි පර්යේෂණ තුලින් සොයා ගෙන තිබේ. ඒ අනුව සිතන විට මධුමේහය රෝගය සමග සෘජුවම බැදුනු ආහාර ද්‍රව්‍ය පිළිබදව දැනුම කෙතරම් ප්‍රයෝජනවත් දැයි යන කාරණය පැහැදිලි වේ.
චරක, සුශ්‍රැත හා අශ්ඨාංග හෘදය යන ග්‍රන්ථ තුනෙන් සමන්විත වෘද්ධත්‍රයේ මධුමේහය සදහා ප්‍රතිකාර කිරිමේදී අනුගමනය කල යුතු ක්‍රම පද්ධති දක්වා ඇත.
- නිදාන පරිවර්ජනය හෙවත් හේතූන් වැලැක්වීම
- ඖෂධ, ආහාර සහ විහරණ යන ත්‍රිත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම
මෙම සිද්ධාන්ත දෙක ඔස්සේ සාර්ථක චිකිත්සාවක් මධුමේහ රෝගය සදහා කල හැකි බව ආයුර්වේදයේ පිළිගැනීමයි. ආයුර්වේදය ප්‍රතිකාර කිරීමේදි වඩා වැඩි සැලකිල්ලක් ආහාර සම්බන්ධයෙන් දරයි. බටහිර වෛද්‍ය ක්‍රමය තුල පත්‍ය අපත්‍ය ආහාර සම්බන්ධයෙන් දක්වන සැලකිල්ලට වඩා වඩාත් දියුණු සහ වඩාත් වගකීම් සහගත මතයක් ආයුර්වේදය තුල පවතින බව සහ අනුගමනය කරන බව ආයුර්වේද ග්‍රන්ථ පරිශිලනයේදි දැක ගත හැකිවේ. එහෙත් මධුමේහ රෝගය සම්බන්ධයෙන් බටහිර සහ ආයුර්වේද යන අංශ දෙක තුළම යම් සැලකිය යුතු මූලික සම පදනමක සිට ආහාර පිළිබදව අදහස් ඉදිරිපත් කිරිම විශේෂයෙන් අවධාවයට යොමු කල යුතු තත්ත්වයකි. ඒ අනූව මධුමේහ රෝගීන්ට භාවිතා කිරීමට සුදුසු ආහාර වර්ග ලැයිස්තුවක් සකසා ඇත.
මෙම ලැයිස්තුවට අනූව අවශ්‍ය තරම් ගත හැකි ආහාර වර්ග, පාළනයකින් යුතුව ගත යුතු ආහාර වර්ග සහ නොගත යුතු ආහාර වර්ග දක්වා ඇත. ඒ යටතේ කොළ කැඳ වර්ග, එළවලු වර්ග, පළතුරු, ඔසුපැන්, ධාන්‍ය වර්ග, අල වර්ග බෙදා දක්වා ඇත.
- කොළ කැඳ වර්ග( අවශ්‍ය තරම් ගත හැකි ද්‍රව්‍ය)
මධුමේහ රෝගීන්ට කැද සෑදීමේදි යොදා ගත යුතු සහල් ප්‍රමාණය ඉතා අල්ප විය යුතුය. රතු කැකුළු සහල් වඩාත් යෝග්‍යයි. පොල් කිරි ඉතා අඩුවෙන් හෝ දෙවන පොල් කිරි යොදා සකස් කල යුතුය.රණවරා, ගොටුකොළ, කොහිල, මොණරකුඩුම්බිය සහ වැල්පෙනෙළ වඩාත් සුදුසුය.
- එළවලු වර්ග(අවශ්‍ය තරම් ගත හැකි ද්‍රව්‍ය)
තිත්ත රසැති කෙඳි බහුල පිටි රස අඩු එළවලු වර්ග සුදුසුය. කරවිල, වැටකොළු, බණ්ඩක්කා, ලපටි බෝංචි, මෑ කරල්, දඹල, කංකුං, රතුළුණු කොල, කරවිල කොල, මුරුංගා කොල, කුරිංඤ්ඤං කොල, ගොටුකොල, පිටසුදුසාරණ, කොවක්කා දළු, කොහිල දළු, වැල්කොහිල,
මඩු දළු, දියලබු, අනෝදා දළු, තුඹ දළු, මොණරකුඩුම්බිය, වට්ටක්කා දළු, කැබැල්ල දළු, ඕලු දඩු, නෙළුම් දඩු, වැල්පෙනෙළ, වරකා පනාවැල්, කැකිරි, දියමෙනේරිය, කෝප්ප කොල, ගෝවා කොල, නිවිති කොල, කෙසෙල් මුව, කොස් දළු, ඇඹරුල්ලා දළු, එරබදු කොල, ලපටි අට්ටික්කා ගෙඩි සහ පිපිඤ්ඤා
- පළතුරු(අවශ්‍ය තරම් ගත හැකි)
ඇඹුල් කෙසෙල්, නෙල්ලි, ජම්බු, ඇඹරුල්ලා, පැපොළ්, පිනිජම්බු, මාදං සහ කජු පුහුලං
- ඔසුපැන්(අවශ්‍ය තරම් ගත හැකි)
බෙලි කොල, බෙලි මල්, රණවරා මල්, රණවරා කොල, කොතලහිඹුටු මුල්, වියලා ගන්නා ලද මාදං ඇට
- ධාන්‍ය වර්ග(පාලනයකින් යුතුව ගත යුතු/ගත හැකි වර්ග)
රතු කැකුළු සහල්, බාර්ලි, තම්බපු නිවුඩු සහල්, කවුපි, පරිප්පු, මුංඇට, කඩල
- අල වර්ග(පාලනයකින් යුතුව ගත යුතු/ගත හැකි වර්ග)
අර්තාපල්, අළුකෙසෙල්, වට්ටක්කා, බතල, පොළොස්, කොස්, දෙල්
- සත්ත්ව ප්‍රෝටීන් වර්ග අවශ්‍ය තරම් ගත හැකිය.
- මධුර රසැති ආහාර(නොගත යුතු ආහාර වර්ග)
සීනී, හකුරු, පැණි, රටඉදි, සිරප් වර්ග, පැණිරස බිස්කට්, චොකලට්, ජෑම්, ටොපි, කේක්, රස කැවිලි වර්ග, පළතුරු බීම, අයිස්ක්‍රීම්, පුඩිං, වටලප්පම්, ටිංකිරි
ඉහත දැක්වු ආහාර වර්ග වලට අමතරව වෙනත් ආහාර වර්ග සම්බන්ධයෙන් ඇති අදහස නම් එසේ නොදක්වා ඇති ආහාර වර්ග අපත්‍ය ආහාර වර්ග බවයි. කෙසේ නමුත් මධුමේහ රෝගියාගේ සාධ්‍ය අසාධ්‍ය තත්ත්වය අනූව මෙහි දක්වා නොමැති සමහර ආහාර ද්‍රව්‍ය සුළු මාත්‍රා වලින් සේවනය වෛද්‍ය උපදෙස් මත සිදු කල හැකිය. එසේ වී නමුත් මෙහි නොගත යුතු යැයි දක්වා ඇති ආහාර නම් සුළු මාත්‍රා වලින් හෝ නොගත යුතුමය.
මධුමේහ රෝගීන්ට විශේෂයෙනුත් අනෙකුත් පුද්ගලයන්ට සාමාන්‍යයෙනුත් අනුගමනය කල හැකි ආහාර පාන ගැනීමේදි අවධාණය යොමු කල යුතු කරුණු කිහිපයක් ඇත.
- ස්ථූල, බලවත් පුද්ගලයන්ට ශරීරය අධික ලෙස කෘෂ තත්ත්වයට/දුර්වල තත්ත්වයට පත් නොවන පරිදි ලඝු/සැහැල්ලු ආහාර ගැනීම.
- කෘෂ/දුර්වල පුද්ගලයන් මේදස(Fat) නොවඩනා සංතර්පණ ආහාර පාන ගැනීම.
- වයස, ස්ත්‍රී පුරුශ භාවය, රැකියාව, ශාරීරික ක්‍රියාකාරීත්වය, උස, බර ආදී සියල්ල සලකා බලා ප්‍රමාණවත් කැලරී ප්‍රමාණයක් ලැබෙන සේ ආහාර පාන ගැනීම.
- මධුමේහ රෝගයට අමතරව වෙනත් රෝග වලින්ද පෙලේ නම් එම රෝග වලටද සරිලන සේ ආහාර පාන ගැනීම.
- නොවැලැක්විය හැකි හේතුවක් නිසා හෝ තම ආහාර පරිපාළනය කිසියම් වේලාවක වෙනසක් සිදු වුව හොත් ඊට පසුව ගන්නා ආහාර වේල සාමාන්‍ය ආකාරයෙන් වෙනස් කර ගැනීම.
ඉහත දැක්වූ ආහාර පාන වර්ග උපයෝගී කරගනිමින් සෞඛ්‍ය සම්පන්න ආහාරයන් තම ප්‍රධාන ආහාර වේල් සහ අමතර ආහාරපාන අවශ්‍යතාවයන් සදහා සකස් කර ගැනීමට උපකාර විය හැකි ආහාර වේල් සම්බන්ධ යම් සැකැස්මක්(Format) වට්ටෝරුවක් ලෙස දක්වනු ලැබේ.
- උදෑසන පානය
සීනි, හකුරු නොමැතිව කිරි,තේ, කොපි, පළතුරු යුෂ, රණවරා, බෙලිමල් වැනි පානයක්
- උදෑසන ආහාරය
බත් අඬු කෝප්පයක්
පාන් පෙති දෙකක්
මධ්‍යම ප්‍රමාණයේ ඉදිආප්ප හතරක්
මධ්‍යම ප්‍රමාණයේ ආප්ප දෙකක්
මධ්‍යම ප්‍රමාණයේ පිට්ටු කෑලි දෙකක්
තෝසේ තුනක්
රොටි තුනක් මින් එක් ආහාරයක් මාළු, එළවළු හො සම්බොල සමග
- පෙ.ව 10.00 ට පමණ
අවශ්‍ය නම් පමණක් කිරි, තේ, කෝපි, පළතුරු යුෂ, ඖෂධ තැම්බු පාන (සීනි හෝ හකුරු නොමැතිව)
- දිවා ආහාරය
බත් කෝප්ප 1 ½- 2
එළවලු, මාළු/කුකුළු මස්/වියලි කරවල
අතුරුපසට පැපොල්, මදක් ඉදුනු කෙසෙල් ගෙඩි, මුදවාපු කිරි කෝප්ප ½
- සවස 3.00-6.00 අතර
කිරි, තේ සමග හබල පෙති, විළඳ, පැණි රස නැති විස්කෝතු
- රාත්‍රී ආහාරය
උදේ ආහාර වේලට සමාන වන්නේ නම් වඩාත් යෝග්‍යයි. තැම්බූ එළවලු වැඩි ප්‍රමාණයක් හෝ සුප් වර්ග ආහාරයට එකතු කර ගත හැක.
ඉහත දැක්වූයේ මධුමේහ රෝගීන් යොදාගනිමින්ම සිදුකරන ලද විධිමත් පරීක්ෂණ මගින් සනාථ කර ගත් ප්‍රමිති ගත තොරතුරු මත සැකසු ලේඛනයකි. මධුමේහ රෝගයෙන් පෙළෙන්නන් අතුරෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඖෂධ වලින් තොරව ආහාර සහ විහරණ(ඇවතුම් පැවතුම්) වලින් පමණක් රෝග තත්ත්වය පාලනයටත් සමනයටත් හැකියාව ඇත්තෝ වෙති. ඉහත තොරතුරු වඩාත් උපකාර වන්නේ එම කණ්ඩායමටය. රෝගයේ සාධ්‍ය අසාධ්‍යභාවය මත පදනම්ව මෙම තොරතුරු තමන්ගේ ආහාරයන් සකසා ගැනීමට අවශ්‍ය දැනුමට එකතු කර ගැනීමට සියල්ලෝම සැලකිලිමත් විය යුතුය.